මහවැලිය බිලි ගත් තාත්තයි පුතයි

චාමින්ද බුලත්සිංහල

පසුගිය සෙනසුරාදා(27 දින) හසලක පොළිස් වසමේ මිනිපේ අඹගහපැලැස්ස හයේ කණුව 17 ඇල ජනපදයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිසක් අතුරින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ බිංගිරිය,වීරපොකුණ,හිරි පොකුණ පදිංචි මල්ලිකාගේ පීටර් නිශාන්ත ප්‍රනාන්දු (44)නමැති එක් දරු පියෙකු හා  ඔහුගේම පුතු වන මල්ලිකාගේ පහන් මතීෂ නමැති(13) පාසල් සිසුවෙකි.

මොවුන් මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ හිරි පොකුණ ගම්මානයේ තාවකාලිකව පදිංචිව සිටි මයිකල් නමැති අයගේ නිවසට අයත් බඩු භාණ්ඩ ප්‍රවාහනය කර දීම සඳහාය.

මයිකල් නමැති අය මිනිපේ අඹගහපැලැස්ස,හයේ කණුව 17 ඇල ජනපදයේ පදිංචිකරුවකු වන අතර මීට මාස හයකට පමණ පෙර තාවකාලික පදිංචියක් සඳහා හිරි පොකුණ ගම්මානයට ගොස් ඇත. ඉන් පසුව ඔවුන් යළි සිය ගම වන 17ඇල ජනපදයේ තම නිවසට පැමිණියේ ඉකුත් සෙනසුරාදාය.එම නිවෙස වෙත ගෙන එන ලද බඩු භාණ්ඩ නිවසට ඇද අවසන්වූ පසු සිද්ධිය වූ දිනයේ පෙරවරු ඒකොළහට පමණ මිය ගිය පීටර් නිශාන්ත සහ ඔහුගේ පුත් පහන් මතීෂ,ඔවුන් සමග පැමිණි හිරිපොකුණ ගම්මානයේම පදිංචි සිතුම් ධනන්ජය නමැති(12)දරුවාද,ඔවුන් පැමිණි 17ඇල ජනපදයේ නිවසේ හිමිකරු සහ ඔහුගේ සිව් හැවිරිදි පුත්‍රයාද සමගින් යතුරු පැදියකින් මහවැලි ගඟවෙත දිය නෑමට ගොස් ඇත.මෙසේ දිය නාමින් සිටියදී හිටි හැටියේම පීටර් නිශාන්ත සහ ඔහුගේ පුතා දියේ ගිලෙනු දුටු මයිකල් නමැති අය ඔවුන් බේරා ගැනීම සඳහා දියට පැන ඇත.පැයක පමණ කාළයකට පසුව පහන් මතීෂ දරුවා ගොඩට ගත් අතර 1990 සුව සැරිය ගිලන්රථයෙන් මහියංගණ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ් වන විටත් දරුවා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. ගම්වාසීන් හා පොළීසිය එක්ව අතුරුදහන්වූ පියාගේ සිරුර සොයා මෙහෙයුමක් දිනය පුරා සිදු කළද සොයා ගත නොහැකිවූ අතර පසුදින ඒනම් ඊයේ(28 ඉරුදින) පෙරවරු පහට පමණ දියේ ගිළුණු ස්ථානයට මීටර පන්සියයක පමණ දුරකින් මහවැලි ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. මේ පිළබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(28) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.හසලක පොළීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.