මහනුවර විදුලි ගැටලුව ඊයේත්..
මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු විදුලි කණුවක් ඉවත් කිරීමට ගිය විදුලි බල මණ්ඩල සේවක පිරිසකට ප්‍රදේශවාසින් කණ්ඩායමක් පහරදීමෙන් තුවාල ලත් විදුලි සේවකයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත්කර තිබේ.
සිද්ධිය පෙරේදා (19) පස්වරු 5.00 ට පමණ සිදුව ඇත.
අදාළ සිද්ධිය මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩල සේවකයින් නඩත්තු කටයුුතු සිදු නොකිරීම නිසා බහිරවකන්ද,මාපානාවතු හා කටුකැලේ ප්‍රදේශ වල ජනතාව විදුලිය නොමැතිව දැඩි අපහසුතාවට පත්වූ බව මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු වල නිරත වන පාසැල් සිසුන් විශාල සංඛ්‍යාවක් අදාළ ප්‍රදේශයේ සිටින බවත් සුළු පිරිසක් කළ සිද්ධියක් මුල්කරගනිමින් විදුලි බල මණ්ඩලය ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.
විදුලි මණ්ඩලය මගින් විදුලි කණු සිටුවීම සඳහා කොන්ත්‍රාත් ලබාදී තිබෙන බවත් ඔවුන් කිසිදු සැලකිල්ලක් නොදක්වා අඩි දෙකක් පමණ ගැඹුරට වලවල් කපා සිටවන කණු මාසයක් දෙකක් තුළ කඩා වැටෙන බවත් ටැංකිය වත්ත ප්‍රදේශවාසීහූ පවසති.
පහර දීම සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ හොත් මධ්‍යම පළාතේ විදුලිය සැපයුම සම්බන්ධව ගැටලු ඇතිවිය හැකි බවත් මධ්‍යම පළාත් විදුලි තාක්ෂණ ඉංජිනේරු සංගමයේ ලේකම්,විදුලි අධිකාරී වී.බී මඩුගල්ල මහතා පැවසීය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විදුලි බල මණ්ඩලයේ දහසක පමණ සේවක පිරිසක් ඊයේ (20) මහනුවර මූලස්ථාන පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට නොගතහොත් අද (21) මධ්‍යම පළාතම ආවරණය වන පරිදි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත්කරන බවත් ඊටද නිසි ප්‍රතිචාර නොලැබුනහොත් දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවත් විදුලි තාක්ෂණ ඉංජිනේරු සංගමයේ ලේකම්, මහනුවර විදුලි අධිකාරි වී.බී. මඩුගල්ල මහතා කීය.