මහනුවර භූ කම්පන වික්ටෝරියාවට බලපෑමක් නැහැ – ආචාර්ය ජගත් ගුණතිලක
පල්ලේකැලේ ආශ්‍රිතව පසුගිය කාලයේ ඇතිවූ භූ කම්පන වලින් වික්ටෝරියා ජලාශයට කිසිදු බලපෑමක් සිදු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජගත් ගුණතිලක මහතා පවසයි.
වික්ටෝරියා ජලාශය ලෝකයේ අති දක්ෂ නිර්මාණය කරුවන් පිරිසක් විසින් ඉදිකර තිබෙන්නේ එම ප්‍රදේශයේ උපරිම භූ කම්පන තිව්රතාව ගැන විශේෂ අධ්‍යන්‍යයක් කිරීමෙන් පසුව බවත් පසුගිය වසර 100 ක කාලය තුළ මෙරට ඇතිවූ භූ කම්පන වල ප්‍රමාණය සැලකීමේදී ජලාශයට බලපෑමක් විය හැකි කිසිදු භූ කම්පනයක් සිදුව නොමැති බවත් ඒ මහතා කීය.
මහනුවර පල්ලේකැලේ ආශ්‍රිතව පසුගිය මාස කිහිපය තුළ ඇතිවූ සුළු භූ කම්පන තත්ත්වයන්ගේ බලපෑමේ ස්වභාවය සම්බන්ධව කරුණු අධ්‍යන්‍යය කිරීම අරමුණු කර ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පෙරේදා (23) කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තුමේන්තුව,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය,භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන්ද රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් භූ කම්පන සිදුවන කළාපයක නොවන බවත් පසුගිය දිනවල පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පන තලමායිම් වල සිදුවූ කම්පන නොවන බවත් ප්‍රකාශ කළේය. ඒවා පාෂාණ ස්ථරය තුළ ඇතිවූ කුඩා ප්‍රමාණයේ භූ කම්පන බවත් ඒවායින් වික්ටෝරියා ජලාශයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
හුණුගල් ආශ්‍රිත කර්මාන්ත මෙම කළාපයේ තිබෙන බවත් ඒවාහි බලපෑමක් මෙම භූ කම්පන සමඟ තිබිය හැකි බවට මත ඉදිරිපත්ව තිබෙන බවත් කී ගුණතිලක මහතා මේ නිසාම භූ කම්පන සිදුවූවේ යැයි නිගමනය කළ නොහැකි බවද කීය. හුණුගල් රටටම අවශ්‍ය සම්පතක් බැවින් ඒවා තිබෙන ස්ථානයෙන් ගොඩ ගත යුතු බවත් වඩා වැදගත් වන්නේ මනා පාලනයකින් යුතුව විධිමත් ලෙස ඒවා ගොඩගැනීම බවත් හෙතෙම පැවසුවේය.
වික්ටෝරියා ජලාශය ගොඩනැගීමෙන් පසු උපරිම ධාරිතාවට ජලය පැමිණි අවස්ථා කිහිපයක් තිබෙන බවත් ඊට අමතරව විවිධ ජල මට්ටම් යටතේ ජලාශය පරීක්ෂාවට ලක්ව තිබෙන බවත් කී ගුණතිලක මහතා පසුගිය භූ කම්පන සිදුවූ අවස්ථා හතරේදීම ජලාශය උපරිම ධාරිතාවට පැමිණ නොතිබුණු බවද ප්‍රකාශ කළේය.