මහනුවර – පොලිස් හොරු ගැන විමර්ශන
මහනුවර පොලීසියේ දිසා දූෂණ මර්දන ඒකකය මගින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගතකරනු ලැබ සිටි මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුට ඉක්මනින් ඇප ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ගෙන්වා දෙන බව කියමින් ව්‍යාපාරිකයාගේ සහෝදරයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මුදල් ලබාදුන් බව කියන ව්‍යාපාරිකයා මහනුවර මූලස්ථාන පොලීසියට කළ පැමිණිල්ලකින් පසු මෙම විමර්ශනය ආරම්භකර ඇත.
ඉකුත් වසරේ ජූනි මාසයේ දිනක දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සමඟ අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ එම තරුණයා මේවන විට පල්ලෙකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා ඇත.
ඔහුට ඇප ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාව ඉක්මනින් ගෙන්වා ගැනීමට රක්ෂිත බන්ධනාගාර පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් විවිධ උත්සාහයන් දැරුවත් එය ව්‍යර්ථ වී තිබේ.
රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් වැයවන බව ප්‍රකාශ කරමින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා එය ලක්ෂ තුනක මුදලකට සිදුකර දීමට පොරොන්දු වී ඇත.
ඒ අනුව එක් පොලිස් නිලධාරියකුගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනක මුදලක් ව්‍යාපාරිකයා විසින් තැන්පත් කරනු ලැබ තිබේ.එම මුදල තැන්පත් කර මාස නවයක පමණ කාලයක් ගතවුනද රස පරීක්ෂක වාර්තාව ගෙන්වා ගැනීමට නොහැකිවී ඇත.එම කාලය තුළ අදාළ පොලිස් නිලධාරීන්ගේ ජංගම දුරකථන වලට ඇමතුම් ගත්තද ඊට ඔවුන් ප්‍රතිචාර දක්වා නොමැති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.එම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය වෙත ව්‍යාපාරිකයා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඉන් පසුවය.