මහනුවර, ඩෙංගු අවධානම ඉහළ යයි.
ගම්පොළ කොට්ඨාශයේ පාසැල් 15 ක් අහඹු ලෙස තෝරාගෙන සිදුකළ ඩෙංගු කීට පරීක්ෂාවකදී පාසැල් 13 කම ඩෙංගු කීටයින් සිටින බවට තහවුරුවී තිබේ.
මහනුවර ඩෙංගු මර්දන කමිටුව ඊයේ (11) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා මේබව අනාවරණය කළේය.
මාස දෙකක පමණ කාලයක් පාසැල් වසා තිබීම නිසා පාසැල් බොහොමයක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙන්නට හැකි බවත් මේ නිසා රජයේ උපදෙස් අනුව පාසැල් වල මදුරු කීට මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා කීය.
වර්ෂා තත්ත්වය ඉහළ යෑමත් සමඟ ඩෙංගු රෝග අවධානමද ඉහළ යන බවත් මේ සම්බන්ධව සියලු ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් හෙතෙම පැවසුවේය.
මෙම වසරේ මුල් මාස හතර තුළ ඩෙංගු රෝගීන් 1114 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවද කරුණාරත්න මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශවලට නොහැකි වූයේ කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැලැක්වීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ වැඩි අවධානය යොමු කිරීමට සිදුවූ නිසා බව මහනුවර ප්‍රාදේශීය වසංගත විශේෂඥ පසන් ජයසිංහ මහතා කීය.
මහනුවර මහනගර සභා සීමාව හා හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, යටිනුවර, උඩුනුවර, පාතදුම්බර, අකුරණ හා ගඟ වට කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ මහතා කීය.
මහනුවර පුරපති කේසර සේනානායක,මහනුවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගාමිණී ජයකොඩි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.