මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ පොලිස් ආරක්ෂාව ඉල්ලයි.
මහනුවර නාථ, විෂ්ණු හා පත්තිනි දේවාළයන්හි බස්නායක නිළමේවරුන්ට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදී තිබියදී තමන්ට පමණක් එම ආරක්ෂාව නොදී ජීවිතය අනතුරට පත්කර තිබෙන බව මහනුවර කතරගම දේවාළයේ බස්නායක නිළමේ, ශ්‍රීලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ගැමුණු වලිසුන්දර මහතා පවසයි. මේ සම්බන්ධව ජනපති,අගමැති හා පොලීසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුවත් කර තිබෙන බවද ඒ මහතා කීය. මහනුවර කතරගම දේවාළයේදී පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවකදී වලිසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළේය. බස්නායක නිළමේවරුන්ට රජය සතු බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන විහාර හා දේවළ වල දේපොළ ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන බවත් එම වගකීම් ඉටු කිරීමට යාමේදී නොයෙකුත් තර්ජන වලට ලක්වීමට සිදුවන බැවින් රජය මගින් බස්නායක නිළමේවරුන්ට ආරක්ෂාවක් ලබාදී තිබෙන බවත් කී ඒ මහතා තමන්ගේ ආරක්ෂාව පමණක් ඉවත් කිරීම මගින් එක රටක් එක නීතියක් යන සංකල්පය බිඳී යන බවද පැවසුවේය.