මහනුවර ඉන්ධන ජාවාරම ජයටම – ත්‍රීවිල් රියදුරන් ජාවාරමට හවුල්

මහනුවර ඇතැම්  ඉන්ධන පිරවුම් හල්  ආශ්‍රිතව සිදුවන විවිධ අකටයුතු කම් හේතුවෙන් තමන්ට පිටස්තර පුද්ගලයින් ගෙන් වැඩි මිලට ඉන්ධන ලබා ගැනීමට සිදුව තිබෙන බව  ඉන්ධන අපේක්ෂාවෙන් දින ගණන් පෝලිම් වල සිටින ජනතාව පවසති.

ඩීසල් හා පෙට්ට්‍රල් වාහන වලට හා බූලි වලට ලබා ගන්නා ඇතමුන් ලීටරය රුපියල් 2000 ත් 3000 ත් අතර මුදලකට අළෙවි කරන බවට ජනතාව චෝදනා කරති.

මහනුවර නුගවෙල ඉන්ධන පිරවුම් හළට දින දහයකට පමණ පසු ඊයේ (16) ඉන්ධන බවුසරයක් පැමිණ තිබූ අතර සතියකට වැඩි කාලයක් පෝලිම් වල සිටි සෞඛ්‍ය සේවකයින්ට තර්ජනය කරමින් ගම්වාසීන් පිරිසක් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කිරීම නිසා ඉන්ධන පිරවුම් හළට  පොලිස් හා හමුදා ආරක්ෂාව යෙදීමට සිදුවිය.

සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට කල් තියා දැනුම් දී තිබුණත් ඉන්ධන බවුසරය පැමිණි අවස්ථාවේ අසල්වාසීන් පෝලිමට පිටින් තෙල් ලබා ගැනීමට උත්සහ කිරිම නිසා මහනුවර කුරුණෑගල මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇති විය.

ඉන්ධන පිරවුම් හළේ පාලනාධිකාරිය මගින් මෝටර් රථයක් සඳහා රුපියල් 4000 කට සරිලන ඉන්ධන පමණක් නිකුත් කිරීම නිසා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අසීරුතාවට පත්වූ අතර ඔවුන් පැවසුවේ මේ බව කල්තියා ප්‍රකාශ කළේ නම්  දින 10 ක කාලයක් පෝලිමේ නොසිටින බවයි.

මහනුවර ත්‍රිරෝද රථ රියදුරන් බහුතරයක් මේවන විට කුලී ගමන් වල නිරත නොවී ඉන්ධන අළෙවි කිරීමේ ජාවාරමේ නිරත වන තත්ත්වයක් දක්නට ලැබේ.ඉන්ධන ලබා ගැනීමෙන් පසු ත්‍රිරෝද රථ ධාවනය කරනවාට වඩා ඉන්ධන අළෙවි කිරීම වඩා ලාභදායි බව ඉන්ධන ජාවාරමේ නිරත ත්‍රිරෝද රථ රියදුරෝ පවසති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.