මහනුවරට ගුවන් යානා තාක්ෂණ පුහුණු පාසලක්
ගුවන් යානා හා ගුවන් යානා තාක්ෂණය අධ්‍යනය කිරීම සඳහා වන පාසැලක් මහනුවර දිගන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන බවත් ඉන් අනතුරුව උතුර, නැගෙනහිර, උතුරු මැද හා දකුණ යන පළාත්වල එවැනි පාසැල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසයි.
මෙම පාසැල් මගින් ගුවන් යානා තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය ඇතුළු ගුවන් යානා සම්බන්ධ සියලු දේ පිළිබඳ දැනුම ලබා ගැනීමට පාසැල් දරුවන්ට අවස්ථාව ලැබෙන බවද ඒ මහතා කීය.
මෙරට 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (07) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ගුවන් හමුදාව තම කාලය තුළ ප්‍රධාන ඉලක්ක හතරක් ඔස්සේ මෙහෙයවීමට අපේක්ෂා කරන බවත් රජය සහ ජනතාව අපේක්ෂා කරන්නාවූ රටේ ඒකීය භාවය හා භෞමික අඛන්ඩතාව ආරක්ෂාකර ගැනීමට උපරිම ශක්තිය ලබාදිය හැකි ලෙස ගුවන් හමුදාව ශක්තිමත් කිරීම ඉන් පළමුවැන්න බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙරට සම්පත්වලින් වැඩි කොටසක් විහිදී පැතිරී තිබෙන මුහුදු කලාපය ගොඩබිම් කලාපයට වඩා ප්‍රමාණයෙන් විශාල බවත් එම සමුද්‍රීය කලාපය ගුවනින් ආරක්ෂා කරදීමට ගුවන් හමුදාව සතු විශාල කාර්යභාරයක් තිබෙන බවත් කී ඒ මහතා ඒ සඳහා නාවික හමුදාව හා ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බවද පැවසුවේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගුවන් සමුද්‍රීය නිරීක්ෂණ හා ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකරන ලෙස උපදෙස් ලබා තිබෙන්නේ යැයි ගුවන් හමුදාපතිවරයා කීය.
ලෝකයේ නව ප්‍රවනතා ඉක්මනින් ග්‍රහණය කර ගනිමින් ඒවාට අනුව ගුවන් හමුදාව හැඩගැස්සවිය යුතු බවත් සයිබර් තාක්ෂණය හා නියමුවන් රහිත ගුවන් යානා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ්-19 අර්බුදයෙන් පසු චීනයේ වූහාන් නුවර සිට පළමුවෙන් මෙරටට පැමිණි ගුවන් යානය විෂබීජ හරණය කිරීමේ සිට විශාල කාර්යභාරයක් ගුවන් හමුදාව විසින් සිදුකළ බවත් ඒ සඳහා පුහුණුව ලත් භට පිරිස් ගුවන් හමුදාව සතු බවත් කී පතිරණ මහතා ගුවන් හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථාන පහක් පවත්වාගෙන යන බවද අවධාරණය කළේය.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධ සිතියම් ගත කිරීම් දැනටමත් සිදුකර තිබෙන බවද ගුවන් හමුදාපතිවරයා කීය.