මහජනයාට අහිමි පෙට්ටිගල වතු රෝහල

 මහජනයාට අහිමි පෙට්ටිගල වතු රෝහල

බලංගොඩ පෙට්ටිගල වතු රෝහල සංවර්ධනය කිරීම සඳහා පසුගිය යහපාලන රජය සමයේ ව්‍යාපෘතියක් දියත් වූවත් එය මහජන මුදල් නාස්ති කළ අසාර්ථක ව්‍යාපෘතියක් බව ප්‍රදේශවාසී වතු කම්කරු ජනයා පවසති. වතු සමාගමට අයත්ව තිබූ මෙම රෝහල රජයට පවරා ගෙන සංවර්ධන කටයුතු කිරීම සඳහා තලතා අතුකෝරල හිටපු ඇමතිනිය මූලිකත්වය ගෙන තිබුණි. ඒ අනුව රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් වියදම් කර ගොඩනැගිලි අලුත්වැඩියා හා ඉදිකිරීම් කටයුතු කර තිබෙන නමුත් ජනතාවට පොරොන්දු වූ පරිදි වෛද්‍යවරුන් ලබා දී නැත. එමනිසා මේවනවිට රෝහල් ගොඩනැගිලි ඇතමක් වසා දමා ඇති අතර පවුල් සෞඛ්‍ය සේවිකාවක් පමණක් පැමිණෙන බැවින් ගැබිණි මව්වරුන් හා ළදරුවන් සඳහා මාසික සායන පමණක් පැවැත්වේ.

රෝහල සඳහා ඉදිකළ රජයට අයත් ගොඩනැගිල්ලක් වතු සමාගමේ ක්ෂේත්‍ර නිලධාරියෙකු සිය නිවෙස ලෙස පෞද්ගලික පරිහරණය පිණිස යොදාගන්නා අතර අප කළ විමසීමකදී ඔහු පැවසුවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ස්ථානය පරිහරණය කරන බැවින් එලෙස පදිංචිව සිටින්නේ ආරක්ෂාව සඳහා බවයි. මේවනවිට රෝහල සංවර්ධනය කිරීම පිළිබඳ සඳහන් වන පුවරුවද ගලවා ඉවත් කර ඇති අතර එය යාබද තේ කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩාවක දමා තිබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පොරොන්දු වූ පරිදි වෛද්‍යවරු ලබා දුන්නේ නම් පෙට්ටිගල ඉහළ කොටස වැනි කිලෝමීටර් 15ක් පමණ දුරක සිට බලංගොඩ රෝහලට යන ජනයාට පහසුවක් වන බව සහ එමගින් එහි තදබදයද අඩු වන බවයි. ඔවුන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් එක් වෛද්‍යවරයෙකු හෝ සිය රෝහලට ලබාදෙන ලෙස සහ සාමාන්‍ය අසනීප තත්ත්වයකදී නේවාසික ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබාදෙන ලෙසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *