මව්බිමට ගෙන්වා ගන්න – රුසියාවේ සිටින සිසුහූ ඉල්ලති

රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ ට්වේර් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ (Tver State Medical University) අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් තමන් නැවත මව්බිමට කැඳවා ගන්නා මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් භීතියට පත්ව සිටින සිය පිරිසට 350ක පමණ සිසුන් ගණනක් අයත්වන බවයි. මේ වනවිට රුසියානු රජය පනවා ඇති සීමාකිරීම් නිසා සිසුන් නේවාසිකාගාරවල රඳවා ඇත. සති කිහිපයක් තිස්සේ ඔවුන් මෙලෙස නේවාසිකාගාරවලට සීමා වී සිටින අතර අද වනවිට ආශ්‍රිත ප්‍රදේශවල වෛරස ව්‍යාප්තිය වඩාත් දරුණු වී ඇත.
මේවනවිට රුසියාවේ කොවිඩ් 19 වැළඳුණු සමස්ත රෝගීන් ගණන 40000 ඉක්මවා තිබේ. ටුවේර් වෛද්‍ය විශ්ව විද්‍යාලය අවට කලාපයේ සතියකට පෙර සිටි 25ක් වන රෝගීන් ගණන අදවනවිට 250කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩි වී ඇත. සමස්තයක් ලෙස රුසියානු ජනයා මෙම රෝගයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පිළිවෙත් කෙරෙහි එතරම් උනන්දු නොවන හෙයින් තත්ත්වය බැරූරුම් වීමට පුලුවන. එවැනි තත්ත්වයක් තුළ නේවාසිකාගාරවලට සීමා වූ ලාංකික සිසුන්ටද පරිහරණය කිරීමට සිදුව ඇත්තේ පොදු සනීපාරක්ෂක පහසුකම් ය. එමනිසා තමන්ද වෛරස ආසාදනයට ගොදුරු වීමට පෙර මව්බිමට ගෙන්නා ගන්නා මෙන් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.