මල්වතු ඔය වනසන වැලි ජාවාරමක් කොටු
නීතියට පටහැණිව මල්වතු ඔයේ මහා පරිමාන වැලි ගොඩ දැමීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් හත්දෙනෙකු සමග ට්‍රැක්ටර් දෙකක් සහ තවත් උපකරණ විශාල ප්‍රමාණයක් මන්නාරම අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මහා පරිමාණයෙන් මන්නාරම අඩවි වන බල ප්‍රදේශයේ නීතිවිරෝධීව වැලි කැනීමේ ජාවාරම සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව අඩවිවන කාර්යාලයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතුව සිදු කළ මෙම වැටලීමේදී සැකකරුවන් හත්දෙනෙකු සහ ජාවාරමට උපයෝගී කරගත් ප්ලාස්ටික් බැරල් යොදා සකසා තිබු පාරුවක් අතිරේක බැරල්, සවල්, බාල්දි හා ට්‍රැක්ටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීම සිදු විය.
ජාවාරම්කරුවෝ හොර රහසේ මල්වතු ඔයට පැමිණ පාරුව යොදා ගනිමින් වැලි කැනීම සිදුකර තිබෙන අතර එමගින් මල්වතු ඔය ජලාශයට හා අවට පරිසරයට විශාල හානියක් සිදුකර තිබු බවත් නිලධාරිහූ පවසති. වැටලිම සිදුකරන අවස්ථාව වනවිට ට්‍රැක්ටර් දෙකක් වැලි පුරවා තිබු අතර තවත් වැලි කියුබ් විශාල ප්‍රමාණයක් ඔවුන් ජාවාරම සිදුකල ස්ථානයේ ගොඩ ගසා තිබුණි. කලක සිට බලපත්‍ර නොමැතිව මෙම ජාවාරම සිදුකරමින් මන්නාරම ඇතුළු ප්‍රදේශ රැසකට වැලි ප්‍රවාහනය සිදුකර තිබෙනා බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව තිබේ.