මරිය තුමියගේ ග්වාඩලුපේ දර්ශණය වෙනුවෙන් මෙරට ඉදිවු පළමු දෙව් මැදුර හෙවත් ත්‍රිකුණාමලයේ ගල් පල්ලිය

ලක්මාල් බදුගේ 

ත්‍රිකුණාමලය නගරයේ සිට නිලාවෙලි දෙසට ගමන් කෙරෙන මාර්ගයේ විජිතපුර මංසංධියේ මුහුදු වෙරළට මායිම්ව කලුගලින් නිර්මිත දර්ශණීය දෙව්මැදුරකි. ප්‍රදේශයේ කා අතරත් “ගල් පල්ලිය” යැයි ප්‍රසිද්ධ මෙම දෙව්මැදුර දේව මාතාවගේ ග්වාඩලුපේ දර්ශණය වෙනුවෙන් මෙරටදි ඉදිවු පළමු දෙව් මැදුර බව බොහෝ අය නොදනිති. එය මෙරට කතෝලිකයන්ගේ නොමද ගෞරවයට හා වන්දනාවට පාත්‍රවු දේවස්ථානයක් ‍බව නොරහසකි.

ස්පාඤ්ඤ බස කතා කරන ජන කොටසක් ජිවත්වන ඇමරිකාවේ මෙක්සිකෝවේ දී 1531 වසරේ පළමු වරට සිදුවු ප්‍රාතිහාර්යයක ප්‍රථිපලයක් ලෙස ත්‍රිකුණාමලයේ පිහිටි ග්වාඩලුපේ අප ස්වාමිදුවගේ දේවස්ථානය ඉදිව තිබේ. 

මෙක්සිකෝ නගරයේ “ටිපියක්” කන්ද අසලින් දිව්‍ය පුජාව සදහා නිතර ගමන් කල එම ගම් පෙදෙසේ බැතිමතෙකු වු ජුවාන් දියේගෝ (පසුකාලිනව ශුද්ධ වරයට ඔසවනු ලැබ ශාන්ත ජුවාන් දියේගෝ විය) නම් 53 හැවිරිදි ගිහියෙකු හට එම කදු පාමුලදි මරිය තුමිය පළමුව දර්ශණය වි තිබේ. ඒ 1531 වසරේ දෙසැම්බර් මස 09 වනදායි එසේ දර්ශණය වු දේවමාතාව මාගේ දර්ශණය රැගෙන රදගුරුතුමන් වෙත ගොස් පවසා යලි පැමිණෙන ලෙසට ඔහුට පවසා ඇත. ඔහු දේවමාතාවගේ පළමු දර්ශණය පිළිබදව මෙක්සිකෝ රදගුරුහිමියන් වු ශාන්ත දියෝගෝ සුමර්ගා (පසුකාලිනව ශුද්ධවරයට ඔසවනු ලැබු) වෙත පැවැසුවද එය නොපිළිගත් රදගුරුහිමියන් මෙය ජුවාන් දියේගෝ ගේ තමාගෙන් යමක් ලබා ගැනීමට කියු බොරුවක් යැයි සිතා ආහාර මිලයට ගැනීමට කිසියම් මුදලක් ඔහු අත තබා පිටව යන ලෙසට පවසා තිබුණි.

දෙවන දිනද ඔහුට දේව මාතාව දර්ශණය විමෙන් පසුව ඔහු මේ පිළිබදව රදගුරුහිමියන් වෙත ගොස් යලි දැනුම් දි තිබේ. එහිදි රදගුරු ශාන්ත දියෝගෝ සුමර්ගා,  ජුවාන් දියේගෝ හට මෙසේ පවසා තිබුණි. 

නුඹට සත්තකින්ම දේව මාතාව දර්ශණය වුයේ නම් ඒ සදහා සළකුණක් ලෙස රෝස මල් පොකුරක් මා වෙත රැගෙන එන්නැයි යනුවෙනි. 

සීත කාලයේදි මෙක්සිකෝවේ රෝස මල් නොපිපෙන නිසාත් ටිපියක් කදු පාමුල රෝස මල් නොමැති බැව් දන්නා නිසාත් රදගුරුහිමියන් ජුවාන් දියේගෝට එසේ පැවැසුවද තුන්වන දිනයේ දිව්‍ය පුජාව සදහා ගමන් කරමින් සිටි ජුවාන් දියේගෝ දේවමාතාව දර්ශණය වීමෙන් පසුව රදගුරු හිමියන් කියු දෑ පවසා තිබුණි දේව මාතාවගේ හාස්කම් ප්‍රදර්ශණය කරමින් දර්ශණය වු ස්ථානයේ පසෙක අලංකාර ලෙස රෝස මල් පිපි තිබුණි ඉන් නෙලා ගත් රෝස මල් තමා විසින් හැද සිටි “ටිල්වා” නම් ඇදුම (ඒප්‍රනයක් වැනි කබායකි) තුල රදවා ගෙන රදගුරු හිමියන් වෙත ගොස් මේ තිබෙන්නේ රෝස මල් යැයි බිමට හලමින් ටිල්වා රෙද්ද දිගහැර පෙන්වනු ලැබීය. 

එවිට එම ටිල්වා කබායේ දේවමාතාවගේ දර්ශණය මනරම්ව සටහන්ව තිබු අතර එය දුටු රදගුරුහිමියන් එම කබාය තුල වු මරියතුමියගේ දර්ශණය දැක පුදුමයට පත්ව ඊට නමස්කාර කරනු ලැබිය පසුව එම ටිල්වා කබාය අසල කුඩා දේවස්ථානයක තබා බැතිමතුන්ට ප්‍රදර්ශණය කර පසුව මෙම පුජනිය වස්තුව වන්දනාවට පාත්‍ර කරනු ලැබීය. 

අදටද මෙක්සිකෝවේ ග්වාඩලුපේ බැසිලිකාව තුල මරියතුමියගේ පළමු දර්ශණය වු ටිල්වා රෙදි කඩ සුරැකිව තබා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ටිල්වා රෙදි කඩක් වසර 20 ක් වැනි කාලයකදි දුර්වර්ණව දියවි විනාශව යා යුතු වුවත් මෙම ශුද්ධවු රෙදි කඩ වසර 489 ක් පුරාවට තවමත් සුරැකිව ලොව පුරා කතෝලිකයන්ගේ නොමද ගෞරවයට පාත්‍රව තිබිමයි.

මෙම බැසිලිකාව දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේගේ මෙන්ම වත්මන් පාප් වහන්සේ වන ‍ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාද ස්පර්ශයට පත්ව තිබේ. දේව මාතාව දර්ශණය වු ශාන්ත ජුවාන් දියේගෝ හැද සිටි ටිල්වා රෙදි කඩෙහි සිතුවම වරක් පරික්ෂා කල පර්යේෂකයන් එම සිතුවමේ ඇසෙහි විශාලනය කල රෑපය තුල ජුවාන් දියේගෝ නමස්කාර කරමින් වැද සිටින අයුරු පෙනි යන බවට සොයා ගෙන තිබේ. වරෙකදි කඩාකප්පල්කාරි පුද්ගලයකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වු මෙම සිතුවම තවත් වරෙක බෝම්බ ප්‍රහාරයකටද ලක්වු නමුත් කිසිදු හානියක් නොවු බව මෙක්සිකෝ ග්වාඩලුපේ බැසිලිකාවේ සංචාරය කල ගරු ජෝර්ජ් දිසානායක පියතුමා පවසයි. 

මෙක්සිකෝවේ ග්වාඩලුපේ බැසිලිකාවට සබදතා පවතින ඇමරිකානු – මෙක්සිකෝ සම්භවයකට හිමිකම් කියු එවකට ත්‍රිකුණාමලය හා මඩකලපුව දිසාවන් භාර රදගුරු හිමියන් වු ඉග්නේසියස් ග්ලෙනි (ජේ.නි) හිමිපාණන් විසින් වර්තමානයේ ත්‍රිකුණාමලයේ පිහිටි ග්වාඩලුපේ අප ස්වාමිදුවගේ දේවස්ථානය 1953 වසරේදි ගොඩනැගිම ආරම්භ කරනු ලැබීය. මෙක්සිකෝවේ ග්වාඩලුපේ බැසිලිකාව පිහිටි ස්ථානය හා වත්මන් ත්‍රිකුණාමලයේ ග්වාඩලුපේ දේවස්ථානය පිහිටි භූමිය යම් සමානකමක් දක්වන හෙයින් මෙම ස්ථානය එසේ තෝරා ගැනීමට හේතුවු බව ග්වාඩලුපේ දෙව්මැදුරේ හිටපු මීසම්පති, චීනවරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වත්මන් මිසම් පාලක වරයා වන ගරු ජෝර්ජ් දිසානායක පියතුමන් පැවැසුහ.

1953 වසරේ දි ඉදි කිරිම් ආරම්භ කල මෙම දෙව්මැදුරේ කටයුතු 1956 වසරේදි අවසන් කර තිබුණි. කලුගල් යොදා ගනිමින් සමස්ථ දෙව්මැදුර ගොඩනගා ති‍බේ. 1964 වසරේදි හමා ගිය සුළි සුළගින් දෙව්මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අල්තාරයට ඉහල කොටසට යම් තරමක හානියක් සිදුවු අතර පසුව ‍මුල් දේවස්ථානයේ උස යම් පමණකින් අඩුකර වර්ථමානයේ දැකිය හැකි පරිදි දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

1994 වසරේ සිට 2003 වසර දක්වා මෙම දෙව්මැදුරේ මීසම් පාලකවරයා ලෙස කටයුතු කල ගරු ජෝර්ජ් දිසානායක පියතුමා 2003 වසරේදිත් 2013 වසරේදි අවස්ථා දෙකකදි මෙක්සිකෝවේ පිහිටි ග්වාඩලුපේ බැසිලිකාව හා එහි සුරක්ෂිතව තිබෙන දේවමාතාවගේ රුව සහිත ටිල්වා රෙදි කඩ නැරඹිමට ගිය අතර එම දේවස්ථානයේ සංචාරය කල නැගෙනහිර පලාතේ පලමු පියතුමා වන්නේද ජෝර්ජ් දිසානායක පියතුමායි.

2001 වසරේදි ත්‍රිකුණාමලයේ පිහිටි මෙම දෙව් මැදුරට දිව්‍ය සත්ප්‍රසාද නිවහනක් එක් කල අතර එය උතුරු නැගෙනහිර පලාතේ පවතින පැය 24 පුරාවටම බැතිමතුන්ට වන්දනා මාන කල හැකි දිව්‍ය සත්ප්‍රසාද නිවහන වන්නේය. සෑම වසරකම දෙසැම්බර් මස 12 වැනි දින ග්වාඩලුපේ බැසිලිකාවේදී දේව මාතාව වෙනුවෙන් දේව මංගල්‍ය පැවැතියද අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ත්‍රිකුණාමලයේ පිහිටි ග්වාඩලුපේ දෙව්මැදුරේ මංගල්‍ය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ අවසන් ඉරුදින පවත්වනු ලබයි.

දිස්ත්‍රික්කයේ බොහෝ රාජ්‍ය උත්සවයන් වලදි ආගමික කටයුතු සදහා මුල් තැනක් හිමිවන මෙම දෙව් මැදුර සදහා මැති ඇමතිවරුන් යුධ හමුදා නිලධාරින් ඇතුළු ඉහල පෙලේ ප්‍රභූන් සහභාගිවේ. කතෝලිකයන්ට මෙන්ම ත්‍රිකුණාමලයේ ජනයාටද මහත් ආඩම්බරයක් බදු ග්වාඩලුපේ අප ස්වාමිදුවගේ දෙව්මැදුර පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයේද නාමයෙන් සිය ආශිර්වාදය සියලු ජනයා වෙත නිබදව පුද කරමින් ලවණ මුසු සුළගින් නැහැවෙමින් ත්‍රිකුණාමලය විජිතපුර මුහුදු වෙරළ අසබඩ විරාජමානව නැගි සිටිනු එහි යන එන්නන් හට දැකගත හැකිවේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.