මධ්‍යම පළාතේ ස්ථාන මාරු නිසි ලෙස සිදුවන්නේ නෑ – මධ්‍යම ආණ්ඩුකාරවරයා

වසර පහකට වඩා වැඩි කාලයක් එකම ස්ථානයේ සේවය කරන රාජ්‍ය සේවකයින් මාරු කරන ලෙස පළාත් රාජ්‍ය සේවා කොමිෂමට දැනුම් දී තිබුණත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

එකම ආයතනයක  අඛන්ඩව වසර පහකට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු සේවය කිරීම තුළින් මාරුවීම් අපේක්ෂාවෙන් සිටින වෙනත් අයට අසාධාරණයක් වන්නා සේම එමඟින් වංචා හා දූෂණ වලටද මග පෑදෙන්නේ යැයි ඒ මහතා කීය.

මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පෙරේදා (05) පැවති මාධ්‍ය හමුවකදී ලලිත් යූ ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන වල වසර 10-15 එක දිගට සේවයේ නිරත අය සිටින බවත් ඔවුන්ට මාරු වීම් ලබාදුන් විට ඒවා අවලංගු කරන ලෙස ඉල්ලා සිටින්නේ එම ආයතන ප්‍රධානීන්ම බවද හෙතෙම අවධාරණය කළේය.

පළපුරුදු සේවකයින් මාරුකළ විට පළාත් පාලන ආයතන වල සේවා කටයුතු අඩාල වන බව ඇතුළු නොයෙකුත් මැසිවිලි නගමින් මොවුන් මාරුවීම් අවලංගු කර ගන්නා බවත් මේ නිසා මධ්‍යම පළාතේ රාජ්‍ය සේවක ස්ථාන මාරු ප්‍රතිපත්තිය මේවන විට අඩාල වී තිබෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

මධ්‍යම පළාතේ මේවන විට සිදුව තිබෙන රුපියල් කෝටි ගණනක් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී දීර්ඝ කාලයක් එකම සේවා ස්ථානයේ සිටින විශාල පිරිසක් සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බවද ඒ මහතා කීය.

ස්ථාන මරු කිරීම් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට දේශාපලන බලපෑම් මෙන්ම මිතුරු පාර්ශව වෙතින් කෙරෙන බලපෑම්ද හේතුවක් වී ඇතැයි හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.