මධ්‍යම කඳුකරයටත් වැස්සෙන් බලපෑම්; ජලාශ කිහිපයක් පිටාර යයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (19) අලුයම සිට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන, ඉහළ කොත්මලේ හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දැමිමට පටන්ගෙන තිබේ.
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක්ද විවෘත වී තිබෙන බවත් පවසන ජලාශ භාර ඉංජිනේරුවරු විමලසුරෙන්ද්‍ර සහ ලක්ෂපාන ජලාශ වාන් දැමීම නිසා කැලණි ගඟේ ජල මට්ටමට ඉහළ යා හැකි බවද පවසති.
අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයෙන් කොටසක් ඊයේ (19) ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී තිබේ.

වැසි ජලය නිසිලෙස බැස නොයෑම නිසා නාවලපිටිය නගරය මෙසේ ජලයෙන් යටවන බව නාවලපිටිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසති.
නාවලපිටිය වැලිගම්පොළ ඉසිපතනාරාම විහාරස්ථානයේ බොධි ප්‍රකාරය වටා ඉදිකර තිබු ආරක්ෂිත බැම්ම වර්ෂාවත් සමඟ කඩාවැටීමෙන් ප්‍රතිසංස්කරණය කරමින් තිබූ එම විහාරස්ථානයේ ආවාස ගෙයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14 ක්ද ජලයෙන් යටව තිබේ.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා බගවන්තලාව කොටියාගල වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් පිටාර ගැලීමෙන් එ දෙපස නිවාස 14 ක්ද ජලයෙන් යටව තිබෙන බව පොලීසිය පවසයි.එම නිවාස වල පදිංචිකරුවන් වැසි ජලය බැස යන තෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා මහත්මිය පැවසුවාය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට ඇත.
එම මාර්ගයට කඩා වැටුණු පස්කඳු කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඉවත්කර තිබේ.වටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස්කඳු සහ ගල් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුධ හමුදාව, වටවල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කරනු ලැබ ඇත.
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල නගරය පිටුපස නිවාස 25 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
මීට ප්‍රථමද අවස්ථා කිහිපයකදි එම නිවාස ජලයෙන් යටවීම නිසා හැටන් ඔය කපා පුළුල් කිරිමේ කටයුතු සිදු කළද ඉන් නිසි ප්‍රයෝජනයක් අත්ව නොමැති බවට ජනතාව චෝදනා කරති.
පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබාගැනීම සඳහා හැටන් ඔය හරස් කර ඉදිකර තිබෙන වේල්ලක් නිසා හැටන් ඔයේ ජලය නිසිලෙස ගලා නොබැසීම තම නිවාස ජලයෙන් යටවීමට හේතුව බව ජනතාව පවසති.