මධ්‍යම ආණ්ඩුකාර කාර්යාලය විවෘත වේ.

කොරෝනා බියක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය හෙට (27) සිට යළි විවෘත කරන බව ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබළෙකුගේ ඥාතියෙක් ලෙස හඳුනා ගැනීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස පසුගිය 24 දින පස්වරුවේ කාර්යාලය තාවකාලිකව වසා දැමුණි.
ආණ්ඩුකාර කාර්යාලය අවධානම් කලාපයක් ලෙස නම් කරමින් හුදෙකලා කිරීමක් සිදු නොවුණු බවත් වෛද්‍ය වාර්තා පැමිණෙන තෙක් තාවකාලිකව කාර්යාල කටයුතු නවතා දැමීමක් පමණක් සිදුවූ බවත් කී ලලිත් යූ ගමගේ මහතා ආණ්ඩුකාර කාර්යාලය මගින් ඉටු කරන සියලුම සේවාවන් සුපුරුදු පරිදි අද (27) සිට අඛණ්ඩව ලබා දීමට සුදානම් බවද අවධාරණය කළේය. ආණ්ඩුකාර කාර්යාලයේ සියලු නිලධාරින්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන බවද වසංගත තත්වයක් පිළිබඳ කිසිදු බියක් තබා ගැනීමට අවශ්‍ය නොමැති බවද ඒ මහතා කීය. අදාල නාවික හමුදා සෙබළාට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසුවේය.