මධ්‍යම අධිවේගය ගැන බොරු කිව්වේ යහපාලන ආණ්ඩුව – ජොන්ස්ටන්

මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන බවට යහ පාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු වසර ගණනාවක් තිස්සේ බොරු පොරොන්දු දෙමින් ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද රැවටුවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

යහ පාලන ආණ්ඩුව බලයට පැමිණි විගස මධ්‍යම අධිවේගය සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාදී තිබූ කොන්ත්‍රාත් සියල්ල අවලංගු කර මාස තුනක් ඇතුළත නව කොන්ත්‍රාත් ලබා දුන්නේ පෙර ඇස්තමේන්තු මුදලට වඩා කිලෝ මීටරයකට රුපියල් ලක්ෂ 12000 ක් වැඩි පුර ගෙවමින් බවද ඒ මහතා කීය.

ගැටඹේ ගුවන් පාළමේ වැඩ කටයුතු නිරීක්ෂණයට ඊයේ (28) පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා මේ බව පැවසුවේය.

කඩවත සිට මීරිගම දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කිලෝ මීටරයක් සඳහා රුපියල් ලක්ෂ 30000 කට දී තිබූ කොන්ත්‍රාත්තුව යහ පාලන ආණ්ඩුව අවලංගු කර එක් කිලෝ මීටරයකට ලක්ෂ 42000 ක ඇස්තමේන්තුවක් යටතේ කොන්ත්‍රාත් දුන් බවත් ඒ මහතා කීය.

යහ පාලන ආණ්ඩුවේ අමැතිවරු ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට බොරු කියමින් නොමඟ යැවූ බවත් යහ පාලන ආණ්ඩු සමයේ තමන්ට හදන්න බැරිවූ මධ්‍යම අධිවේගි මාර්ගය කවදාද විවෘත කරන්නේ කියා අද කිරිඇල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තමන් ගෙන් විමසන බවද හෙතෙම පැවසුවේය.

කිසිදු සැළසුමක් නොමැතිව යහ පාලන ආණ්ඩු සමයේ සංවර්ධන වැඩ ආරම්භ කළේ හොර කමට පමණක් මූලිකත්වය ලබාදී බවත් ඔවුන් අතර මඟ නතර කර තිබූ මධ්‍යම අධිවේගයේ වැඩ මේවන විට සීඝ්‍රයෙන් නිම වෙමින් තිබෙන බවත් ඇමැතිවරයා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.