මත්තල පියාසැරි පහසුකම් යළි අරඹයි

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය ඇගළුම් මෙට්‍රික් ටොන් 28ක් රැගත් එමිරේට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (09) පස්වරු 5.45ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
පසුගිය වසර පහකට ආසන්න කාලයක් වැසී ගොස් අක්‍රියව පැවති මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල අද වන විට කාර්ය බහුල ගුවන් තොටු පොලක් බවට පත්ව ඇති බවත් පසුගිය මාස දෙකක කාලය තුළදි පමණක් ගුවන් යානා 62ක් මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලට පැමිණි බවත් හා ඉදිරියේදි තවත් ගුවන් සේවා සමාගම් කිහිපයකටම අයත් ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල භාවිතා කරමින් සිය ගුවන් සේවා මත්තලින් ආරම්භ කිරිමට සුදානමින් සිටින බවත් අධ්‍යක්ෂ වරයා පැවසීය.
මත්තල ගුවන් තොටුපොල ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරණ ගුවන් යානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 401 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලට පැමිණීම හා එම ගුවන් යානය යොදා ගනිමින් මත්තල ගුවන් තොටුපොලේ සිට දේශීය ඇඟළුම් මෙට්‍රික් ටොන් 28ක් රැගෙන ඩුබායි රාජ්‍ය හරහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම මත්තල රජපක්ෂ ගුවන් තොටුපොල ඉතිහාසයට නව පිටුවක් එක් කිරිමක් බවත්, ඒ අනුව ඉදිරියේදි ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ වඩාත් පහසුකම් සහිත සුවිශේෂී ගුවන් තොටුපොලක් ලෙස මෙම ගුවන් තොටු පොල පත්වනු ඇති බවද ඒ මහතා පැවසීය.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය ඊයේ (09) පස්වරු 4.35ට පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණි අතර නැවත එම ගුවන් යානය දේශීය ඇගළුම් මෙට්‍රික් ටොන් 28ක් රැගෙන එදිනම පස්වරු 5.45ට ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.
2019 වර්ෂයේදී ඇමරිකානු එක්සත් ජනපදය වෙත ශ්‍රි ලාංකික ඇගළුම් අපනයනය තුළින් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2338කි. ශ්‍රි ලංකාවේ විශාලතම අපනයන වෙළද පොල වන්නේද ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් යානයක් මත්තලට පැමිණීම හමුවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නම් දරා සිටින අනෙකුත් ගුවන් යානාද මත්තල ගුවන් තොටුපොලට පැමිණීම කෙරෙහි අවධානය යොමු කරනු නිසැක බවද ගුවන් තොටු පොල කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.