මත්උවදුර මඩින්න පාසල්වලට ඩිජිටල් පැමිණිළි පෙට්ටි

මත්ද්‍රව්‍ය  සම්බන්ධ තොරතුරු ක්ෂණිකව ලබාදීම පිණිස ඩිජිටල් සජේෂන් බොක්ස් (Digital Suggetion Inbox) පාසැල්වලට කඩිනමින් හඳුන්වා දෙන බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි.
පාසැල් දරුවන්ට, දෙමව්පියන්ට මෙන්ම පාසැල් ගුරුවරුන්ට මත්ද්‍රව්‍යය සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඒ සම්බන්ධ තොරතුරු ලබාදීමට යාමේදී ගැටලු මතුවන බවත් මෙම සජෙෂන්ස් බොක්ස් මගින් එම ගැටලුවට විසඳුම් ලැබෙන බවත් ඒ මහතා කීය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මධ්‍යම හා ඌව පළාත් ගුරු උපදේශකයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පොල්ගොල්ල සමූපකාර විද්‍යාලයේදී පැවැති තෙදින පුහුණු වැඩමුළුවේ සමාප්ති උත්සවයේදී සභාපතිවරයා මේබව ප්‍රකාශ කළේය.
තමන්ගේ ජංගම දුරකතනයෙන්,ලැප්ටොප් පරිගණකයෙන් පෞද්ගලිකත්වය ආරක්ෂාවන සේ ඉක්මනින් තොරතුරු ලබාදීමේ හැකියාව මේ ඔස්සේ ලැබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන් බොහෝ අවස්ථාවල ඉන් පිට වන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්ව බවද ඒ මහතා කීය.
ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව යළි මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්තාපනය කළ යුතුව ඇතැයි සභාපතිවරයා කීවේය.

යුද්ධය පැවැති කාලයේ මරණයට පත්වන පුද්ගලයින් ප්‍රමාණය මාධ්‍ය මගින් දිනපතා වාර්තා කළ බවත් අද ඒ අයුරින්ම වාර්තා වන්නේ දිනපතා අත්අඩංගුවට ගැනෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය හා ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු බවත් කී සභාපතිවරයා මත්ද්‍රව්‍යය ජාලය ඉතා ශක්තිමත් එකක් බවද ප්‍රකාශ කළේය.

පසුගිය මාස හයක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලිය හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ප්‍රමාණය 52000 ක්. හෙරොයින් නිසා අත්අඩංගුවට පත්වීම් විසිහතර දහසක් ද ගංජා හේතුවෙන් අත් අඩංගුවට පත් වීම් විසිහය දහසක් ද ඒ අතර වෙනවා.

මේ අතර වැඩි වශයෙන් ඉන්නේ වයස අවුරුදු තිහට වඩා අඩු වයසේ පසුවන පිරිසක්. ඒ අතරින් තවත් සියයට විස්සක් පමණ සිටින්නේ පාසල් වයසේ පසුවන දරුවන්. එමෙන්ම
කණගාටුදායක පුවත වන්නේ එම අත්අඩංගුවට පත් වීම් වලින් දෙවැනියට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ මධ්‍යම පළාත තුළින් වීමයි.

මෙම තත්වය යටතේ පාසල් දරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සුදුසු වන්නේ නැහැ. ඔවුන් බන්ධනාගාර ගත කළොත් එහිදී ලබන අත්දැකීම් මත ඔවුන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්වෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූ දරුවන් යහපත් පවුල් පසුබිමක් සහිත අධ්‍යාපනයෙන් පවා විශිෂ්ඨ කුලසතා දක්වන පිරිසක් වීමත් දැකිය හැකියි.

ආරක්ෂක අංශ වලට පමණක් මත්ද්‍රව්‍ය පාලනය තනිව කරන්න බැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධව පණිවිඩය අධ්‍යාපනය තුළින් දරුවාට කා වැද්දීම සිදුකළ යුතුයි.

මොළය සහ හදවත එකට වැඩ කරන සෘජු නායකත්ව සහිත දරු පිරිසක් රටට බිහි කළ යුතුයි. මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමෙන් පමණක් එය සිදුකරන්න බැහැ. ඊට පවතින ඉල්ලුම ද අඩාල කළ යුතුයි.

ආරක්ෂක අංශය විසින් සැපයීම අඩාල කිරීම මේ වන විට ඉතාමත්ම කාර්යක්ෂමව සිදු කරනවා. නමුත් ඉල්ලුම අඩාල කිරීම ඔවුන්ට කරන්න බැහැ. ඒ නිසා එම වගකීම රටේ පරිපාලනයට, අධ්‍යාපන අංශයට සහ සමස්ත මහජනයාට පැවරෙනවා.

හෙරොයින්, හෂීස් වැනි ද්‍රව්‍ය පමණක් නොව අද වන විට ගංජා මෙතම්පිටමින් නොහොත් අයිස් යන මත්ද්‍රව්‍ය හිස ඔසවමින් සිටිනවා. ඉකුත් මාස හය තුළ කරන ලද වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1800ක් පමණ අත්අඩංගුවට ගන්නා විට අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 1500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද වන විට අපට ප්‍රශ්නය වෙන්නේ මෙම ද්‍රව්‍ය භාවිතා කරන්නේ කවුද කියන එකයි.

මිලි ග්‍රෑම් වලින් භාවිතා කරන මත්ද්‍රව්‍ය මෙතරම් විශාල ප්‍රමාණවලින් රටට පැමිණ තුළින්
ගම් දනව් වල පවා මෙම මත්ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කරන බව විශ්වාස කළ හැකි යැයි අන්තරායකර ඖෂධපාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *