‘මට ටෙන්ෂන්’…
මට ටෙන්ෂන් කියමින් අවධානමක් ගෙන බලා සිටිමුද? උපදෙස් ගෙන ඉන් මිදෙමුද?
ලොකු පොඩි, උගත් නූගත්, දුප්පත් පෝසත් භේදයක් නැතිව හැමෝටම හැදෙන, ලෝකේ වැඩිපුරම තියෙන මානසික ගැටළුව ගැනයි, අද…
‘ඔළුව පුපුරන්න වාගෙ’ ‘තද වෙච්චි’, ’ඔරොත්තු දෙන්නැති ගාණට’ ‘එපා වෙච්චි’ වෙලාවල් ගැන අත්දැකීම් අප හැම දෙනාටම තියෙනව. ‘ආතතිය’ (Stress) කියා හඳුන්වනු ලබන මේ තත්ත්වය හට ගන්නෙ, තමන් අකැමැති දෙයක් එක දිගට සිද්ද වෙන බව හිතට දැනෙන්න පටන්ගත්තට පස්සෙ. එහෙම නැත්නම්, ඇති වෙලා තියෙන තත්ත්වයට හරි, තියෙන ඉල්ලූමට හරි ඔරොත්තු දෙන්නට හෝ මුහණ දෙන්නට තමාට හැකියාවක් නැති බව වැටහෙනකොට. මනෝවිද්‍යාවෙදි ඒකට කියන්නෙ (coping ability) කියල.
ආතතිය කියන්නෙ, ඇත්තටම නම් සත්ත්වයින්ගෙ ජෛවීය ක‍්‍රියාවලියක්. අකැමැති දෙයක් (උත්තේජයක්) හදිසියෙ සිද්ද වෙනකොට, එයට මුහුණ දීම සඳහා ශරීරිය විසින් ඇති කරගනු ලබන පෙර සූදානම. උදාහරණයක් විදිහට හදිසි භයංකර ශබ්දයක් ළඟින් ඇසුණම, හිත තිගැස්සිලා, ඒ ගැන ක්‍ෂණිකව විමසිලිමත් වෙලා, එකපාරටම ඈතට දුවන්න හරි, එහෙම නැත්නම් ‘එන දේකට මූණ දෙන්න’ හරි, ශරීරය ක්‍ෂණිකව සූදානම් කෙරෙනව අප නොදැනුවත්වම. (Fight or flight reaction) කියන එම තත්ත්වය වෙනත් සත්ත්වයින්ගෙත් තියෙන දෙයක්. මෙහි වඩාත් සංකීර්ණ ප‍්‍රභේදය තමයි ආතතිය කියන්නෙ.

අකැමැති හෝ තැතිගැනීමට හේතුවන හදිසි තත්ත්වය (ආතතිකාරකය) stressor හෙවත් උත්තේජය අපේ සංවේද ඉන්ද්‍රියයක් (හෝ ඉන්ද්‍රියයන්) ඔස්සේ මොළයට සංවේදනය වුණු විගසම, මස්තිෂ්කයේ සක‍්‍රිය බව හෙවත් Allertness ඇතිවීමත්, එහි හයිපොතැලමස කොටසෙන් නිකුත්වෙන ආවේගයන් අනුවේගී ස්නායු ඔස්සේ, වකුගඩු මුදුනේ ඇති අධිවෘක්ක ග‍්‍රන්ථි වෙත යාමෙන්, එම ග‍්‍රන්ථි වලින් ඇඩි‍්‍රනලින් Adrenalin හෝමෝනය අධික ලෙස රුධිරයට ස‍්‍රාවය වීමත් සිදු වෙනව. ඇඩි‍්‍රනලින් හෝමෝනයේ ක‍්‍රියාකාරිත්වය මගින්, හෘද ස්ඵන්දනය, නාඩි වැටීමේ වේගය සහ ශ්වසන වේගයත්, රුධිර පීඩනයත් ක්‍ෂණිකව ඉහළ යනව. රුධිරයට අක්මාවේ සහ පේශි වල පවතින ග්ලයිකොජන් සංචිත බිඳ වැටීමෙන් වැඩි ග්ලූකෝස් ප‍්‍රමාණයක් එකතු වෙනව. රුධිර වාහිනී විස්තාරණය සහ සංකෝචනය, පේශි වල තානය (Tone) වැඩිවීම සමග ක්‍ෂණික සංකෝචනයනුත් ඇතිවෙනව. බිය, පපුවේ ගැස්ම තමාටම දැනීම, ක්‍ෂණිකව ඩහදිය දැමීම, මුහුණ රතු වීම, ඇඟ වෙව්ලීම, හති දැමීම, සමහර විට නොදැනුවත්වම මූත‍්‍ර හෝ මළ පහ වීම වැනි තත්ත්වයන් මේ සමග පුද්ගලයාට ඇති වෙනව. ආමාශයික යුෂ අධිකව ස‍්‍රාවය වීම නිසා ඇතිවන ආමාශයික ප‍්‍රදාහය නිසා බඩ දැවිල්ලත් හැදෙන්න පුළුවන්. තීව‍්‍ර ආතතිය (Acute stress) නමින් හැඳින්වෙන මෙම තත්ත්වය, ආතතිකාරක උත්තේජය තවදුරටත් නොපවතින බව (අනතුරුදායක තත්ත්වය පහව ගොස් ඇති බව) වැටහුණු පසු, ඉක්මනින් (සමහර විට මිනිත්තු ගණනක් තුළම) නැතිවී යනව.
එහෙත්, ආතතිකාරකය තවදුරටත් ඉවත් නොවී පවතින බව දැණුනු විට, ඇඩි‍්‍රනලින් හෝමෝනයේ ස‍්‍රාවය තවදුරටත් සිදුවෙමින් එහි ක‍්‍රියාකාරිත්වය ඇති කරද්දීම, හයිපොතැලමස ඔස්සේ පිටියුටරි ග‍්‍රන්ථිය උත්තේජනය වීමෙන්, අධිවෘක්ක ග‍්‍රන්ථි වලින් ‘කෝටිසෝල් ’ Cortisol නමැති හෝමෝනය නිකුත් කරවන ACTH නමැති උත්තේජක හෝමෝනයත් ස‍්‍රාවය වෙන්නට පටන් ගන්නව. කෝටිසෝල් හෝමෝනය මගින් මූලිකවම සිදු කෙරෙන්නෙ ශරීරයේ පරිවෘත්තීය ශීඝ‍්‍රතාව වැඩි කිරීම. ඒ නිසා, රුධිරයේ කෝටිසෝල් වැඩි වූ විට ග්ලයිකොජන් වලට අමතරව සංචිතව ඇති මේදයත් සීඝ්‍රයෙන් බිඳ වැටෙමින්, රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය තවදුරටත් ඉහළ මට්ටමකින් පවත්වා ගන්නට ශරීරය පෙළඹෙනව. මෙහි ප‍්‍රතිඵලය වෙන්නෙ ශරීරය ඉක්මනින් කෘෂ වීම. ඊට අමතරව, අධික පිපාසය සහ අධික කුසගින්න (හෝ සමහර විට කෑම අරුචිය) සම වියළීම සහ හැකිලීම, ප්‍රෝටීන පරිවෘත්තිය වෙනස් වීමෙන් ප‍්‍රතිශක්තිය බිඳ වැටී, නිතර ආසාදන හට ගැනීම වැනි තත්ත්වයන් ද ඇති වෙනව. මෙම තත්ත්වය, ආතතිකාරකය නොවෙනස්ව පවතින කාලයට අනුලෝමව සමානුපාතික වෙමින් කෙමෙන් උග‍්‍ර වීමත් සිදු වෙනව, නිසි මැදිහත් වීමක් සිදු නොවුණොත්. මේ විදිහට දිගු කාලීනව පවතින ආතතිය (Chronic Stress) තමයි පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයට හානි සිදු කරවන්නෙ.

දිගුකාලීන ආතතිය පවතින විට, පුද්ගලයාගේ කායික තත්ත්වයට අමතරව, මානසික ස්වභාවය සහ හැසිරීම් ස්වභාවයන් ද වෙනස් වෙනව. මෙම ලක්‍ෂණ හඳුනා ගැනීම වැදගත් වෙන්නෙ, දිගුකාලීන ආතතිය මගින් පුද්ගලයාට ඇති විය හැකි හානිය අවම කර ගැනීම සඳහා මැදිහත් වීමට.
මෙවන් අයකුගේ මානසික ස්වභාවයේ සහ හැසිරීමේ වෙනස්වීම් අතුරින් සුලබතම ලක්‍ෂණයන් වෙන්නෙ, නින්ද පිළිබඳ ගැටළු (නින්දට පත්වීමේ අපහසු බව, අඩ නින්ද සහ නිතර ඉක්මනින් අවදි වීම, බියකරු සිහින දැකීම සහ දිවා කාලයේ නිදිබර බව වැනි) නොසන්සුන් බව සහ නිතර අස්වාභාවික ලෙස බියට පත්වීම, අස්වාභාවික ලෙස ශෝකයට සහ කෝපයට පත්වීම, හුදෙකලා වීමට කැමැත්ත සහ නිතර කල්පනා කිරීම, කලහකාරී බව සහ නිතර ගැටුම් ඇති කර ගැනීම, දුම්පානයට හා මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වීම සහ උග‍්‍ර අවස්ථාවේදී මානසික අවපීඩනය හෙවත් විෂාදයේ Depression ලක්‍ෂණ ලෙස, දිවි නසා ගැනීමට සිත් වීම සහ තැත් කිරීම වැනි දේවල්. කරමින් සිටි වැඩ කටයුතු අතරමග නවතා දැමීම සහ වැඩ නොකර සිටීම, සාධාරණ හේතුවකින් තොරව වැඩට නොපැමිණ සිටීම, වැඩ කිරීමේ හැකියාව (Perfotmance) අඩාල වීම වාගෙම, පාසල් දරුවන්ගෙ නම් ඉගෙනීමේ කටයුතු දුර්වල වීමත් දක්නට ලැබෙන සුලබ තත්ත්වයන්.
දිගුකාලීන ආතතිය නිසා උග‍්‍ර වන හෝ ආතතිය නිසාම හට ගන්නා කායික රෝග රැසක් ම තිබෙනව. ඒ අතුරින් මුල් තැනට එන්නෙ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, කිරීටක හෘදයාබාධ, ආඝාතය හෙවත් අංශභාග රෝගය, ඇදුම ඇතුළු ශ්වසනාබාධ, පොතු කබර Psoraisis ( සහ දද වැනි චර්ම රෝග, ආමාශයික ප‍්‍රදාහය වැනි රෝග තත්ත්වයන්. මානසික මූලයක් සහිත කායික රෝග ලක්‍ෂණ හෙවත් නියුරෝසියාවන් (Neauroses) ද දිගු කාලීන ආතතියේ ප‍්‍රතිඵල ලෙස හට ගන්නව. හේතුවක් හඳුනාගත නොහැකි දිගුකාලීන හිසරදය, හිරිවැටීම්, වේදනාවන් ආදිය මේ අතුරින් සුලබව දක්නට ලැබෙන දේවල්.
පුද්ගලයකුට ආතතිය ඇතිවීම නවත්වන්නට අමාරු, එය ජෛවීය ක‍්‍රියාවලියක් නිසා. එහෙත්, ආතතිය නිසා ඇතිවිය හැකි හානි අවම කරගැනීම පිණිස එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පුළුවන්. වෙනත් බොහෝ සෞඛ්‍ය ගැටළු වලදී වගේම, ආතතිය කළමනාකරණය කර ගැනීමටත් අවස්ථා තුනකදී පුළුවන්.
ප‍්‍රාථමික අවස්ථාව (Primary Prevention) වන්නෙ, ආතතිකාරක තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකිවන පරිදි පුද්ගලයාගේ ශක්‍යතාවන් හෙවත් ජීවන නිපුණතාවන් (Life Skills) සංවර්ධනය කරවීම. මෙය ආරම්භ විය යුත්තෙ ළමා වියේ මුල් කාලයෙදි.

ද්වීතීයික අවස්ථාව (Secondary prevention) තමයි, ආතතිය ඇතිවූ විට මුලින් හඳුනාගෙන වහා සුදුසු ප‍්‍රතිකර්ම යෙදීම. මෙහිදී ප‍්‍රධාන මූලධර්ම දෙකක් තියෙනව. පළමුවැන්න, ආතතිය නිසා ඇතිව තිබෙන මානසික සහ කායික පීඩනයෙන් ශරීරය මුදවා ගැනීම. ඒ සඳහා, මනස සහ සිරුර ඉහිල් කරවන කටයුතු වන කායික ව්‍යායාම, ඒකාකාරී බව නැතිවන ක‍්‍රියාවන් ලෙස විනෝද ක‍්‍රීඩා, හාස්‍යය, සංගීතය, චාරිකාවන්, ස්වභාව සෞන්දර්යය, සංගීතය රස වීදීම වැනි කලා කටයුතු, ආගමික කටයුතු, සිතේ පවතින ගැටළුව විශ්වාසවන්ත අයකුට පවසා සිත නිදහස් කර ගැනීම (Ventilation) ආදිය සුදුසු පරිදි භාවිත කළයුතු වෙනව. ඒ වගේම, ආතතියට හේතුවන ගැටළුව හෙවත් ආතතිකාරකය විසඳා ගැනීමටත් අවධානය යොමු කළ යුතුයි. මතක තබා ගැනීමේ පහසුවට, අපට ප‍්‍රශ්නයකට මුහුණ දිය හැකි ක‍්‍රම හතරක් මෙහෙම දක්වන්න පුළුවන්. පළමුවෙන්ම, ආතතියට හේතුවන දෙය මඟහැර සිටීම (Avoid). දෙවනුව, පුළුවන් නම් ආතතිකාරකය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීම (Alter). තෙවනුව, ආතතිකාරකයට ගැලපෙන විදිහට තමන් වෙනස්වීම (Adapt) සහ ඒත් බැරි නම්, ආතතිකාරක තත්ත්වය ඉවත් කරගත නොහැකි බව තේරුම්ගෙන, එය භාරගෙන ජීවත්වීම (Accept)
දිගු කාලීන ආතතියෙන් ඇතිව තිබෙන කායික සහ මානසික හානි සඳහා සුදුසු වෛද්‍ය සහ වෙනත් ප‍්‍රතිකර්ම යෙදීම තමයි තෘතීයක අවස්ථාව වෙන්නෙ (Tertiary prevention)

– දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී
බී. එම්. සී. දසනායක