බෝම්බයක් අත්හදා බැලූ හිටපු සටන්කරුවා මිය යයි

කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිපදවීමට ගත් උත්සාහයකදී එය පුපුරායාමෙන් බරපතල තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (08) අලුයම් කාලයේදී මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
බෝම්බ පිපිරීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකිරීමෙන් පසුව එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.
බෝම්බ පිපිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව ඉයක්කච්චි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී ඔහුගේ නිවසෙහි තිබී දේශීයව නිෂ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිම වූ බෝම්බයක් මෙන්ම “කලු කොටි දිනය සමරමු” යන පෝස්ටරයක්ද හමු වීමෙන් පසුව තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳද අත්අඩංගුවට පත් විය.
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
බෝම්බ පිපිරීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.