බොලොඤ්ඤවේ හඬ පැරීසියටත් – අද විරෝධතාවක්

ප්‍රංශයේ පැරිස් නුවරදී ලංකාවේ වේලාවෙන් අද(18) සවස 7.30 ට ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව ලාංකික විසිරි ජන කොටස් එකතුවෙන් විරෝධතාවක් දියත් කිරීමට නියමිතය. මේ ක්‍රියාවලියේ අරමුණු හා ඉදිරි වැඩපිළිවෙල ගැන ඊට දායක වන වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් කළ කෙටි විමසුමකි මේ… ඔහු දැනට ස්විට්සර්ලන්තයේ ලුසන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආර්ථික දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙකි.

ප්‍රශ්නය -පැරීසියේ අද මොකද්ද මේ කරන්නේ?

පිළිතුර – ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් තමන්ගේ රටේ සිදුවන මර්දනයන් වංචාවන් දූෂණ හා හොරකම්වලට එරෙහිව අද එකතු වෙලා හඬක් නගනවා. මේකට ප්‍රධාන හේතුව මේ වෙනකොට ලංකාව ඇතුළේ සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැතිවීම. රට සීඝ්‍රයෙන් මිලිටරීකරණයට ලක්වෙලා. අධිකරණය බිඳවැටිලා. ඇතැමුන්ට උසාවියෙන් ඇප ලැබෙද්දී ඇතැමුන්ට එම නීතිය යටතේම රඳවාතබාගැනීම් කරන බව අපට පේනවා. මේ තත්ත්වය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වල්වැදීම වලක්වා එය නැවත ස්ථාපිත කිරීමේ අරමුණෙන් තමයි අපි අද පැරීසියට එකතුවෙන්නේ. මේක ඉතාලියේ බොලොඤ්ඤාවෙදි හඬ නැගුණු එතෙර ශ්‍රී ලාංකිකයන්ගේ උද්ඝෝෂණ මාලාවේ දිගුවක්.

ප්‍රශ්නය -දිගුවක් කියන එකේ අදහස?

පිළිතුර – මින් අනතුරුව මෙය එංගලන්තය හා ඇමෙරිකාව දක්වා ව්‍යාප්ත වීමට නියමිතයි.

ප්‍රශ්නය -ඒත් අගමැතිවරයා කිව්වේ ඉතාලියේ විරෝධය සු`ඵතරයක වැඩක් කියලනේ?

පිළිතුර – සු`ඵතරය කවුද කියලා ආණ්ඩුව එදා හොඳින්ම තේරුම්ගත්තා. බොලොඤ්ඤාවෙදි මහින්ද රාජපක්ෂ මහත්තයට පක්ෂව හඬක් නගන්න එකතුකරගන්න පු`ඵවන් වුණේ හත් දෙනයි. එයිනුත් පිරිසක් විවිධ මූල්‍ය හා වෙනත් චෝදනාවලට ලක්වෙච්ච අය. ඒත් අපේ උද්ඝෝෂණයට තුන්සීයකට අධික පිරිසක් සහභාගී වුණා. මෙයින් ත්‍රාසයට හා ලැජ්ජාවට පත්වුණු අගමැතිවරයා ඊටපස්සේ කළේ ඉතාලිය පුරාම සිටින පොදුජන පෙරමුණ පක්ෂයෙ නිලධාරින් කැඳවාගැනීමයි. ඊට පවා සහභාගීවුණේ අතලොස්සක් විතරයි. ඒ පිරිසත් පවුල් කීපයක එකතුවක් පමණයි. දැන් එතෙර ජන බලය තිබෙන්නේ දූෂිතයන්ට එරෙහිවයි.

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී එතෙර ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව ප්‍රචාරණ කටයුතු කළා. අද පැරීසියේදී නියෝජනය වන්නේ ඔවුන්ගේම අඩංගුවක් ද?

පිළිතුර – ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවුණේ පක්ෂයෙන් මුදල් ගෙවලා ගුවන් යානා වෙන්කරවාගෙනයි. ටිකට් නොමිලේ දීලායි. මේක එහෙම වැඩක් නෙවෙයි. අල්ලස් හෝ සන්තෝසම් දීමෙන් මිනිසුන්ගේ කැමැත්ත දිනාගැනීමක් මෙතන නෑ. අපි මිනිස්සුන්ට දිගුකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෑතයි. අපි එක්ක එකතුවෙන්නේ මේ හොර මැරකම් පරාජය කිරීමට පවතින ක්‍රමයට එරෙහි මිනිසුන්. ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති මිනිසුන්. සැබෑ දේශප්‍රේමින් තමයි මෙතැනට එකතුවෙන්නේ. විශේෂයෙන්ම 2019 දි ගෝඨාභය මහතාට ඡන්දය දීමට පැමිණි පිරිස් පවුල් පිටින් අප සමග එකතුවීමක් අපි දකිනවා. ඒක ශ්‍රී ලංකාවේ දේශපාලනය පැත්තෙන් ඉතාම සුබ ලකුණක්.

ප්‍රශ්නය -මේ කරන්නෙත් ඒ වැඬේම අනෙක් පැත්ත. එහෙම නැත්තන් සජිත් ප්‍රේමදාස මහතා හෝ විපක්ෂයේ වෙනත් බලවේගයක අනාගත ඡන්ද ව්‍යාපාරයක් කියලා කෙනෙකු චෝදනා කළොත්?

පිළිතුර – සජිත් ප්‍රේමදාස මහතාට හෝ විපක්ෂයේ වෙනත් බලවේගයකට හෝ එබඳු හැකියාවක් තිබෙනවා නම් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද විපක්ෂය ක්‍රියාකාරී නෑ කියන එක ලංකාවේ ලොකුම චෝදනාවක්. ඒ වගේම එවැන්නකට නායකත්වය දියහැකි පුද්ගලයන්ගේ හිඟකම. ඒත් මේ සංවිධානගතවීම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සිදුවන්නක් බව වගකීමෙන් කියනවා. ඒකෙ අදහස මේ එකතුවේ විවිධ පක්ෂවලට අයත් පිරිස් නියෝජනය නොවන බව නෙවෙයි. මේ එකතුවේ ජ.වි.පෙ, පෙ.ස.ප, ස.ජ.බ සාමාජිකයන් වගේම පොදුජන පෙරමුණට ඡන්දය දී කලකිරුණු අයත් ඉන්නවා. ඒ වගේම මේ නිවැරැදි හරස්කඩට දෙමළ මෙන්ම මුස්ලිම් සහෝදරත්වයන් ද අයිතියි. ඒ නිසා රටේ නිවැරැදි ජන හඬ අපේ ව්‍යාපාරය තුළින් නියෝජනය වන බව අපට කියන්න පු`ඵවන්.

ප්‍රශ්නය -ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දර්ශකයක් හැටියට ගන්නා ඇතැම් ජාතිකවාදීන්ට අනුව ඔබලා දේශද්‍රෝහී වැඩක් කරනවා යැයි කීවොත් පිළිගන්නවද?

පිළිතුර – එහෙම විනිශ්චය කළොත් ලංකාවේ පළමු වැනි දේශද්‍රෝහියා මහින්ද රාජපක්ෂ වෙන්න ඕනෑ. මොකද 1988/89 එ.ජා.ප ආණ්ඩුව සමයේ කරන ලද මහා තරුණ ඝාතනය හමුවේ මුලින්ම ජිනීවා ගියේ එදා විපක්ෂයේ හිටපු මහින්ද හා වාසුදේව කියන මන්ත්‍රීවරුන්. අපි අද පාවිච්චි කරන්නේ එදා මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන් මාර්ගයමයි. මොකද රට තුළ මානව හිමිකම් රැකෙන්නේ නැත්නම් මිනිසුන්ට යුක්තිය ඉටුවන්නේ නැත්නම් පුරවැසියාට එය ජාත්‍යන්තරයට ගෙන යනවා මිසක වෙන විකල්පයක් නෑ. වර්තමානයේ ජාත්‍යන්තරය විසින් කරනු ලබන තෙරපුමට පමණයි රජය කන් දෙන්නේ. ආර්ථිකයේ විනාශ කරපු ආණ්ඩුව හිඟන්නාගේ පාත්‍රය අරගෙන අද ලෝකේ වටේ යනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට නොගියොත් එදිනෙදා වියදම් ආවරණය කරගන්නත් බෑ. නැත්නම් විදේශ ණය ගෙවාගන්නත් බෑ. මේ ජාත්‍යන්තර තත්ත්වය නිසා තමයි ඔය ප්‍රමාණයට හෝ අපේ රටේ මිනිසුන්ට හුස්මක් ගන්න පු`ඵවන් වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක්වත් නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව කියන්නේ මානව හිමිකම්වල සුසාන භූමියක්. ඒ නිසා ජාත්‍යන්තරයෙන් එන මේ තෙරපුම තව තවත් වැඩි කිරීමෙන් තමයි රට ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නෙ. ඒ අර්ථයෙන් ගත්තාම අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා බවට රටින් පිට ශ්‍රී ලාංකික ඩයස්පෝරාව පත්ව සිටින බව කියන්නත් පු`ඵවන්.

ප්‍රශ්නය -කෙටියෙන් කිව්වොත්… ඇයි මේ වැඩේට පැරීසිය තෝරාගත්තේ?

පිළිතුර – එදා ප්‍රංශයේ පීඩාවට පත් මිනිසුන් එක්ව 1789 දි මහා විප්ලවයක් කළා. හොරකමේ කප්පිත්තකු වෙච්ච මිනීමරු දූෂිත ලුවී රජු හා මාරි ඇන්ටනොට් බිසව පලවා හැරියේ එමගින්. එයින් පසු පත්කරගත් ජනතාවගේ රජය නොහොත් ජන රජයේ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කරගත් ස්ථානය තමයි ශ්‍රී ලාංකික පැරිස් එකමුතුව මේ සඳහා යොදාගෙන තිබෙන්නේ.

කතාබහ – බිඟුන් මේනක ගමගේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *