බොරු ෂෝ දාලා ඡන්ද කරන්නෙ කපටියො – අකිල එල්ලාවල
එළඹෙන මහමැතිවරණය තරඟයක් බවද, තරඟ කරන්නේ දිනන්නට මිස පරදින්නට නොවන බව සැබෑවක් වුවද, තිරශ්චීන ලෙස දේශපාලනය කරමින් තමන්ගේ නමෙහි මඩ තවරාගන්නට වුවමනාවක් නැති බවද රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක අකිල එල්ලාවල පවසයි. අද (10) උදෑසන බලංගොඩදී සිය ආධාරකරුවන් පිරිසක් අමතමින් හෙතෙම මේ බව පැවසුවේය. මැතිවරණයට නාමයෝජනා භාර දී තිබියදී තමන් පෞද්ගලිකව නොහඳුනන අයගේ මළගෙවල්වලට, දාන පිංකම්වලට සහභාගී වන මෙන් ඇතැම් උදවිය තමන්ට ආරාධනා කරන නමුත් ඡන්ද ඉලක්ක කරගනිමින් එවැනි දේවලට සහභාගී වීම තමන් ඉතාම පිළිකුල් කරන නිසා එවැනි දේවලට මැතිවරණය අවසන් වන තෙක් සහභාගී නොවන බවද ඔහු මෙහිදී පැවසුවේ, තමන්ගේ අරමුණ එල්ලාවල පරපුර අනුගමනය කළ පිරිසිදු දේශපාලනයේ නිරත වීම බවයි.
“අපි දේශපාලනයෙන් හම්බ කරපු අය නෙවෙයි. මගේ බලාපොරොත්තුවක් නැහැ හම්බ කරන්න. මිනිස්සු මට රුපියල් 500 ගෙනැල්ලා දීල වියදම් දරාගන්න කියනවා. ගෙදර ඉදෙන කෙසෙල්කැන ගෙනැල්ල දෙනවා වැඩකරන මිනිස්සුන්ට කන්න දෙන්න කියලා. මට අල්ලස් දීලා ඡන්ද කරන්න වුවමනා නැත්තෙ මිනිස්සු මා එක්ක ඉන්න නිසා. පහුගිය දවසක මං ඇහැලියගොඩ තරුණ පිරිසට වොලිබෝල් නෙට් දුන්නා. ඒ අපේ කොල්ලො ලණු කෑලි බැඳගෙන බෝල ගහන හින්දා. හැබැයි මං කිව්වා ඒකෙත් පින්තූරයක්වත් දාන්න එපා කියලා” යැයිද රැස්ව සිටි පිරිස අමතමින් අපේක්ෂක අකිල එල්ලාවල පැවසුවේය.
“මගේ සීයා සිඩ්නි එල්ලාවල. ඩඩ්ලි එක්ක එක පංතියෙ. බලංගොඩින් යූ.එන්.පී යෙන් ඉල්ලන්න කිව්වට එයා ඒ අවස්ථාව භාර ගත්තෙ නැහැ. ඒකයි අබුසාලි බලංගොඩ මන්ත්‍රී වුණේ. එදත්, අදත් එල්ලාවලලා වමට බර මිනිස්සු. අපි නියෝජනය කළේ වම. අපිට දැක්මක් තිබ්බා. වරප්‍රසාද දෙන්නම් කියලා කතා කළාට අපි අපේ ප්‍රතිපත්ති පාවලා දුන්නෙ නැහැ. බලංගොඩ හරහා හපුතලේට දුම්රිය මග දීර්ඝ කරමු කියලා මං කිව්වම හිනාවෙන මිනිස්සු ඉන්නවා. ලෝකාන්තයේ ඉඳලා හල්පෙට කේබල් කාර් දාන්න ඩොලර් මිලියන 100 කට වැඩි ව්‍යාපෘතියක් හැදුවම පුදුම වෙන අය ඉන්නවා. ඒ අයට මං කියන්නෙ මේවා පොරොන්දු නෙවෙයි. අපේ සංකල්ප. අපි ඒවා නිර්මාණය කරන්නේ පළාත දියුණු කරන්න. ජනාධිපතිතුමා බලංගොඩට ආවම මං ඒ අදහස් එතුමට ඉදිරිපත් කරනවා. මට විශ්වාසයි ගොඨාභය ජනාධිපතිතුමයි, මහින්ද අගමැති තුමයි එක්ක මේවා සිහින බවට පත් නොවෙන බව. නාලන්ද එල්ලාවල මගේ සහෝදරයා එදා කිව්වා රත්නපුරට ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් වුවමනයි කියල. ඒකටත් එදා සමහරු හිනා වුණා. ඒත් අද එදා හිනා වුණ අයම ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය ගැන වේදිකාවල කයිවාරු ගහනවා. අවුරුදු 26කට පස්සෙ බලංගොඩට පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් කරගන්න ජනතාව මෙදා පාර කටයුතු කරනවා නියතයි. මගේ පියා මොහාන් සාලිය එල්ලාවලගෙ කාලයට වඩා මෙදා පාර බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මා එක්ක ඉන්නවා. මං කියන්නෙ මට විතරක් මනාප දෙන්න කියලා නෙවෙයි. බලංගොඩ දිනවන්න නම් මාව දිනවන්න කියලයි” යනුවෙන්ද මෙහිදී අකිල එල්ලාවල වැඩිදුරටත් පැවසීය.