බොදුනුවන් අතින් ඉදිවන පුංචි ඊශ්‍රායලයේ කිතුනු දෙව්මැදුර

ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය පදවියේ චීනවරාය මීසමට අයත් වෙල්ලමනල් හි කුඩා කදුගැටයක් මත පිහිටි ශුද්ධාත්මයාණන් ගේ දේවස්ථානය වසර පනහකට වඩා පැරණි අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයකින් ඉදිවුණ වල්ගා තරුවක හැඩැති අපූරු දෙව්මැදුරකි.  

මෙම දෙව්මැදුර පිහිටි ප්‍රදේශය පුංචි ඊශ්‍රායලය ලෙස හදුන්වයි. අධික මුස්ලිම් ජනගහනයකින් වටව ඇති ප්‍රදේශයක දෙමල හා සිංහල බස කතා කරන කතෝලික පවුල් 25 ක් පමණක් ජීවත්ව සිටිම ඊට ආසන්නතම හේතුව වි තිබේ. මුස්ලිම්වරු කොපමණ අවට සිටියද දෙව්මැදුරට හෝ කිතුනුවන්ට ඔවුන්ගෙන් කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැත්තේය. 

මීසම් පාලකවරුන් ලෙස පත්ව ආ පියතුමන්ලා 20 දෙනෙකු අතීතයේ සිට මේ දක්වා මෙම දෙව් මැදුරේ දේව සේවාව සදහා එක්ව තිබුණි. මේ අපුරු දෙව්මැදුර මේ වනවිට ගරා වැටි ඇති අයුරු එහි යන එන්නන් හට දැකිය හැකිවේ. ගඩොලු හා හුණු බදාම මිශ්‍ර කර බිත්ති බැඳ යකඩ කඳන් දෙකක් යොදා කොටස් දෙකකින් යුක්ත වන සේ සැකසු වහලය පොල් ලී හා උළු යොදා ගනිමින් සෙවිලි කර මනරම් ලෙස ඉදිකර ඇත. දෙව් මැදුරේ ප්‍රධාන ශාලාවට පිවිසීමට කුඩා දොරටු දෙකකි. කුඩා ප්‍රමාණයේ දෙව්මැදුරක් වන මෙය ශුද්ධවු සභාවේ ජීවනාලිය බදුවු ශුද්ධාත්මයාණන් වෙනුවෙන් කැපකොට ඉදි කරවුවකි.

ශුද්ධාත්මයාණන් වෙනුවෙන් කැපකොට ඉදිකර ඇති මෙරට පිහිටි දෙව් මැදුරු ගණන තුනක් වුවද උතුරු නැගෙනහිර දෙපලාතටම ඇත්තේ මේ දෙව්මැදුර පමණක් බව එහි වත්මන් මීසම් පාලක ගරු ජෝර්ජ් දිසානායක පියතුමා පවසයි.

මෙම දෙව්මැදුර ඉදිවීමේ කතා පුවත ගැන කියමින් අදහස් දැක්වු ජෝර්ජ් දිසානායක පියතුමා “..අතීතයේ දී ඇමරිකානු ජාතිකයකු වු ජේසු නිකායික එෆ්. එක්ස්. මේයර් පියතුමා විසින් මඩකලපුව පදවියේ කල්ලඩි පාලමට මුහුණ ලා අපුරු දෙව් මැදුරක් ඉදි කරනු ලැබුවා. එම දෙව්මැදුර ශාන්ත සෙබස්තියන් මුණිදුන්ට කැපකොටයි ඉදිකලේ එම දෙව්මැදුරේ ආකෘතිය සැලකිල්ලට ගෙන ත්‍රිකුණාමලය වෙල්ලමනල් ප්‍රදේශයට පැමිණි ජේසු නිකායික ජෝශප් මේරි පියතුමා මෙම පස් ගොඩැල්ල මත දෙව්මැදුර ඉදිකලා එය ශුද්ධාත්මයාණන් වෙනුවෙන් කැපකොට ඉදිකල දේවස්ථානයක් සෑම වසරකම කිතුනුවන් ශුද්ධාත්මයාණන් වෙනුවෙන් මෙහි මංගල්‍ය පවත්වනවා.” යැයි පැවැසීය.

1971 වසරේ දී ඉදි කරනු ලැබු මෙම දෙව්මැදුර මේ වනවිට ගරා වැටි ඇති හෙයින් එකී ආකෘතියම පවතින සේ යලි ඉදි කිරිමට වත්මන් මීසම් පාලක ජෝර්ජ් දිසානායක පියතුමා කටයුතු ආරම්භ කලේය. බොදුනුවන් සමග බොහෝ හිතවත් කතෝලික පියනමක වන එතුමා දේවස්ථානය අභිනවයෙන් ඉදි කිරිම සදහා මුල්ගල තබන චාම් උත්සවයට භික්ෂුන් වහන්සේ ඇතුළු බොදුනුවන් රැසකටම ඇරයුම් කර තිබුණි. ඒ අතර මුස්ලිම්වරුන්ද වුහ.

චීනවරාය බෝධිරාජාරාමාධිපති උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පුජ්‍ය අලුත් ඔය සද්ධාතිස්ස නාහිමියෝ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු වන දයානන්ද ජයවීර, ලක් කළණ සංවිධානයේ සභාපති සුගත් ප්‍රසන්ත, චීනවරාය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා සහ දේවස්ථානයට අයත් කතෝලික ජනයාද ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියෝය. 

මෙහිදි සියල්ලන්ම බෙහෙවින් සතුටට පත්වු කරුණක් වුයේ අලුත් ඔය සද්ධාතිස්ස හිමියන් කල ඉල්ලීමට කන් දෙමින් පැරණි ආකෘතියට හානි නොවන සේ දෙව්මැදුර ඉදිකරන බවට ජෝර්ජ් දිසානායක පියතුමා උත්සව සභාවේ දී පැවැසීමත් දෙව්මැදුර ඉදි කිරිමට ද්‍රව්‍යම අධාර ලබා දෙන බව පැමිණ සිටි බොදුනුවන් පැවැසීමත් හේතුවෙනි. දෙව්මැදුරට තැබුණු පළමු මුල්ගල ජෝර්ජ් දිසානායක පියතුමන් හා සද්ධාතිස්ස හිමියන් විසින් තැබු අතර සෙසු බොදුනුවන් හා කිතුනුවන් විසින් වරින් වර ගල් තබා සිමෙන්ති බදාමය තබනු ලැබුවේ බොදුනු කිතුනු සුසංයෝගයෙන් පුංචි ඊශ්‍රායලයේ ඉදිවන නව දෙව් මැදුරට තබන මුල්ගලෙහි සවිය සේ ආගමික සහෝදරත්වයේ සවිය සදා නොබෙදි පවතීවා යන අදහසින් නොවේදැයි මට සිතුණි.  

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.