බූරු ගැසූ නාවලපිටිය නගරාධිපති රිමාන්ඩ්

 බූරු ගැසූ නාවලපිටිය නගරාධිපති රිමාන්ඩ්

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාවලපිටිය නගර සභාවේ සභාපති නාවලපිටිය එජාප සංවිධායක හා ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු හත් දෙනෙකු මෙම මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා ඊයේ (01) නියෝග කළේය.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය එම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරින් වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරින් හා එක්ව පෙරේදා (30) පස්වරුවේ අදාළ ස්ථානය වැටලූ අවස්ථාවේ එහි සිටි තවත් සැකකරුවන් 12 දෙනෙකු පළාගොස් ඇත.

මුදලට සූදු ක්‍රිඩාවේ යෙදිමට උපයෝගි කරගත් කාඩ් කුට්ටම් හතරක් මුදලින් රුපියල් හැට දෙදෙහසක් සහ සභාපතිවරයාට අයත් අධි සුඛෝපභෝගි ජිප් රථය සමඟ තවත් මොටර් රථයක් සහ රා බෝතල් කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
ගිනිගත්හේන පොලිසිය විසින් 1897 අංක 07 දරන නිරෝධායන පනත සහ දණ්ඩ නිති සංග්‍රහයේ සුදු අාඥා පනත යටතේ බී වාර්තාවක් මගින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ගිනිගත්හේන පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සිටි තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගිය බවයි.එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත යුතුව ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලීසිය සැකකරුවන් මෙම මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
බන්ධනාගාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නිරෝධායන මද්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසද පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
නාවලිපිටිය නගර සභාවේ සභාපතිවරයා දේශපාලනයට සම්බන්ධ කෙනෙකු බවත් ඔහුගේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීමට පැමිණ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ පොලිසිය වැටලිමක් සිදු කර ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණය හමුවේ කියා කියා සිටියහ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම හුදු දේශපාලන අවශ්‍යතාවක් මත සිදුව තිබෙන බවත් ඒ අනුව ඕනැම ඇප කොන්දේසියක් මත සැකකරුවන් මුදා හරින ලෙසත් එම නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළහ.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ නිරෝධායනය සදහා පිලිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් ඉකුත් මස 20 දින හැටන් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබියදි එම අධිකරණ නියෝගයට පටහැනිව සැකකරුවන් කටයුතු කර ඇති බවත් කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා රජය, සෞඛ්‍යය අංශ හා ආරක්ෂක අංශවල නිලධාරින් දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් සැකකරුවන් කටයුතු කිරිම සුළුකොට තැකිය නොහැකි බවත්
විවෘත අධිකරණයේදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂයෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කිරිම කිසිසේත් අධිකරණයට පිළිගත නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් -19 වෛසරය පැතිර ගියහොත් එය පාලනය කර ගැනිමට අසීරු බවත් කී මහේස්ත්‍රාත්වරයා මෙය දේශපාලනඥයින් වඩා වගකීමෙන් කටයුතු කළයුතු අවස්ථාවක් බවද අවධාරණය කළේය.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන නියෝගයට පටහැනිව කටයුතු කිරිම නිසා සැකකරුවන් මෙම මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් බන්ධනාගාර නිලධාරින් මගින් පි.සි.ආර් පරික්ෂණ සඳහා මහනුවර ජාතික රෝහලට යොමුකරන ලෙසද දැනුම් දුන්නේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *