බුර්කාව සහ වාර්ගික, ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතුයි- ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව

 බුර්කාව සහ වාර්ගික, ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතුයි-  ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර සිටී.
පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සඳහන් වේ. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද්දේ එම  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසිනි.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සඳහන් වේ. යම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින්  නිර්දේශ ඉදිරිපත් කොට තිබේ. මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3) ආගමික හෝ වාර්ගික නොවන  දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.
වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට  අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සදහන් වේ. මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ  අධ්‍යාපනය සදහා පමණක්  බව යෝජනා කර ඇත. එසේම මද්‍රසා ආයතන  නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.
තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම, ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ
මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම, ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමන නීතිය සංශෝධනය කිරීම, විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම, මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම, වකුෆ් පනත් සංශෝධනය කිරීම,  අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම , සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට  අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *