බිල වැඩියි. අපි පලි නෑ – විදුලි පාරිභෝගික සම්බන්ධතා නිලධාරීහු කියති
කොවිඩ්-19 පැතිරීම වලක්වා ගැනීමට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ජනතාව නිවෙස්වලට සීමාවී කාලය ගතකිරීම නිසා පසුගිය කාලයේ ගෘහස්ත විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවත් මෙය තේරුම් නොගත් ඇතැම් විදුලි පාරිභෝගිකයින් විදුලි බිල වැඩිබව කියා මනු කියවන්නට තර්ජන හා හිරිහැර කිරීම අසාධාරණ බවත් විදුලිබල මණ්ඩල පාරිභෝගික සම්බන්ධතා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාලක රත්නායක මහතා පවසයි.
වර්තමාන විදුලි බිල්පත් අය ක්‍රමය සකසා තිබෙන්නේ අඩු පරිභෝජනයක් සහිත පාරිභෝගිකයාට සහන සැලසෙන ආකාරයට බවත් වෙනදාට වඩා වැඩි විදුලි පාරිභෝජනයක් සිදුකළ හොත් පෙර විදුලි බිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවීම සාමන්‍ය තත්ත්වයක් බවත් ඒ මහතා කීය.මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී රත්නායක මහතා මේබව ප්‍රකාශ කළේය. ඇඳිරි නිතිය පනවා තිබීම නිසා මාසයක විදුලි බිල්පත වෙනුවට මාස දෙකක බිල්පතක් එකවර පාරිභෝගිකයින් අතට පත්ව තිබෙන බවත් එම බිල ගණනයකර තිබෙන්නේ සහන මිලට ලබාදෙන විදුලි ඒකක ප්‍රමාණයද ඇතුළත් වනසේ බවත් කී ඒ මහතා බිල සකස්වන ආකාරය තරමක් සංකීර්ණ නිසා ඇතැම් පාරිභෝගිකයින්ට ගැටලු ඇතිව තිබෙන බවද අවධාරණය කළේය. යම් පාරිභෝගිකයෙකු විදුලි බිල සකස්වී තිබෙන අකාරය සම්බන්ධව ප්‍රශ්න කළහොත් ඒ ගැන පැහැදිලි කිරීමට මනු කියවන්නන් බැඳී සිටින බවද තම සංගමය මගින් ඒ පිළිබඳව සාමාජිකයින් දැනුවත්කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඇඳිරි නීතිය අවසන් කිරීමෙන් පසු ලබාදෙන විදුලි බිල්පත අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන බවට පාරිභෝගිකයින් කරනු ලබන චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙම විදුලි බිල සකස්කර තිබෙන්නේද පෙර සකස් කළ ආකාරයටම බවත් ඒ මහතා කීය. පවතින තත්ත්වය තුළ විදුලි බිල්පත් ලබාදීමට යන නිලධාරීන්ට නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වීමට සිදුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් රජය මැදිහත්ව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙන බවත් රත්නායක මහතා කීය පාසල් නිවාඩුව ලබාදීම,සේවා ස්ථාන වසා දැමීම,උණුසුම් කාලගුණ තත්ත්වය වැනි කරුණු මත ගෘහස්ථ විදුලි පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් සාමාන්‍ය වශයෙන් ගත්තද සෑම වසරකම මාර්තු,අප්‍රේල් හා මැයි මාසයේ විදුලි පරිභෝජනය ඉහළ යන බවත් ඒ මහතා කීය. අප්‍රේල් හා මැයි මාසවල සාමන්‍යයෙන් උණුසුම් කාලගුණයක් පවතින බවත් මෙයට අමතරව අවුරුදු සමයේ වැඩිපුර ආහාර පාන සකස් කිරීම,මැයි මාසයේ වෙසක් උත්සවය සැමරීම, ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ආදි ක්‍රියාකාරකම් රැසක් මෙම මාස වල සිදුවන බවත් හෙතෙම පැවසුවේය.