“බය වෙන්න එපා. හැමදේම අපිට භාර දෙන්න” ශවේන්ද්‍ර කියයි.

චීනයේ වූහාන් සිට මෙරටට රැගෙන ආ 33 දෙනෙකුගෙන් සමන්විත සිසු පිරිස යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ නිරෝධායන කාර්යයට යොමුකර ඇති බවත් ඔවුන් පිළිබඳ සියලු වගකීම් යුධ හමුදාව දරන බවත් යුධ හමුදාපති ජනරාල් ශවීන්ද්‍ර සිල්වා පවසයි. “දියතලාවෙ අපි අංගසම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථානයක් හදලා තියෙන්නෙ. හැමෝටම වෙන වෙනම කාමර සහ පහසුකම් තියෙනවා. මත්තලදි ගුවන් හමුදාව භාරයට ඇරගෙන ඒ ළමයි නාවලා වෙනම ඇඳුම් අන්දලා මෙහාට ගෙනාවා. හැම මොහොතෙම විමසිලිමත්ව බලා ගන්නවා” යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ යුධ හමුදාපතිවරයා සඳහන් කළේ ජනතාවට බිය වීමට කිසිම හේතුවක් නැති බවත් යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ය. එසේම, තම දරුවන් බැලීමට පැමිණීමට ඔවුන්ගේ දෙමව්පියන් උත්සාහ ගත යුතු නොවන අතර සියලු දෙනාට යුධ හමුදාවෙන් නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් සපයා ඇති බැවින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකි බවද ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
ගුවන් කාර්ය මණ්ඩලයේ ඡායාරූප අන්තර්ජාලයට

ඒ අතර වූහාන් වෙත ගොස් සිසු පිරිස නිරුපද්‍රිතව කැඳවාගෙන පැමිණි ගුවන් කාර්ය මණ්ඩලයේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබේ. ඔවුන් වීරයින් පිරිසක් ලෙස සැළකිය යුතු බව අවිවාදිත නමුත් මෙවැනි මෙහෙයුමක නිරත වූ පිරිස එකවර සමාජයට නිරාවරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අන්තර්ජාල සහ වෙනත් මාධ්‍ය ආයතන ගැඹුරින් කල්පනා කරන්නට තිබූ බව අන්තර්ජාල ආචාරධර්ම පිළිබඳ විශේෂඥයින් අප වෙත පවසන ලදී. ejournalist වෙත වාර්තා වන අන්දමට මෙම පිරිසට අයත් ඇතමුන් තම ගමනාන්තය පිළිබඳව පවුල්වල සාමාජිකයින්ට දැනුම් දී නැත. එබැවින් ඔවුන්ගේ අනන්‍යතාව සළකා ආචාරධර්ම සුරකින මාධ්‍ය ආයතනයක් ලෙස නිරෝධායන කාලය නිමාවනතුරු, ejournalist පමණක් සතුව ඇති අභ්‍යන්තර ඡායාරූප පල කිරීමෙන් වැළකී සිටිමු. මේවනවිට ගුවන් යානයේ කාර්ය මණ්ඩලය හා බස් රිය කාර්ය මණ්ඩලයද විශේෂිත නිරෝධායන ඒකකයක අධීක්ෂණය යටතේ පසු වේ.
දොළොස්දහසට ළඟයි
චීනයේ තොරතුරු අප වෙත වාර්තා කරන ටියැන්ජින් හී වෛද්‍ය ශිෂ්‍ය මලිඳු තන්තිරිවත්ත පවසන අන්දමට අද (01) මේ මොහාත වනවිට තහවුරු වූ කොරෝනා ආසාදිතයින් ගණන 11889කි. මරණ 259ක් ද වාර්තා වේ. 255 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝගයෙන් මිදී ඇත. මෙරටින් හමු වූ චීන කාන්තාවද සම්පූර්ණයෙන් සුවය ලබා ඇති අතර අවශ්‍යනම් පිටව යා හැකි බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.
