බය වෙන්න එපා. ඒත් මේ වගේ අය පරිස්සම් වෙන්න.

කොරෝනා වෛරසයෙන් වැඩිම අවධානමක් ඇත්තේ ගැබිණි මව්වරුන්, ළදරුවන් හා ප්‍රතිශක්තිය අවම මට්ටමකට පත් කරන රෝග වලට ගොදුරු වූවන් බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
වකුගඩු, අක්මා, පිළිකා, දියවැඩියා, පෙනහළු රෝගීන් මෙන්ම අවයව බද්ධ කළ රෝගීන්ද මෙම අවධානම් කණ්ඩායමට ඇතුළත් වන බව ඒ මහතා කීය. එමනිසා එවැනි රෝගවලින් පෙලෙන ජනයා වඩාත් ප්‍රවේශම් විය යුතුය.
වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පහළ වීමට දින 05 ත් 14 ත් අතර කාලයක් ගතවන බවත් රෝග ලක්ෂණ පහළ නොවන අවස්ථාවේදීත් වෛරස් ආසාධිතයෙකුට රෝගය තවත් අයෙකුට බෝ කිරීමේ හැකියාව පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
නව කොරෝනා ලෙස හඳුනා ගත් තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගත් මෙම වෛරසය මෙයට පෙර පැවැති සාර්ස් හා මර්ස් නැමැති කොරෝනා වෛරස් වර්ගයේම එකක් බවත් පෙනහළු තුළට ඇතුළුවූ පසු එය එහි ව්‍යාප්තවී වකුගඩු, අක්මාව, මොළය ඇතුළු සියලු ඉන්ද්‍රීන්ට බලපෑම් කරන බවත් කී මැදගෙදර මහතා හෙම්බිරිස්සා තත්ත්වයෙන් ආරම්භ වන මෙය පුද්ගලයෙකු මරණය දක්වා කැඳවා ගෙන යන බවද අවධාරණය කළේය.
වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගතවන බැවින් චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා සති දෙකක කාලයක් එක් ස්ථානයක රඳවා නිරීක්ෂණය කිරීමට රජය ගත් තීරණය ඉතා හොඳ එකක් බවද හෙතෙම පැවසුවේය.
වෛරසය ශරීර ගතව ඇතිමුත් රෝග ලක්ෂණ පහළ නොවූ අයෙකු සමාජගත වුවහොත් ඔහු හෝ ඇය හරහා රට පුරා රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවද ඒ මහතා කීය.
වෛරසය පැතිර යාම වලක්වා ගැනීම පිණිස ජනතාවටද විශාල කාර්යභාරයක් පැවරෙන බවත් සෙම්ප්‍රතිශ්‍යාව සමඟ සොටු දියර ගැලීම, නාසය තද වීම, කිවිසුම් යාම, උණ ඇති වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවිය හැකි බවත් මිනිසුන් අතරින් රෝගය පහව ගියද සතුන්ගේ සිරුරු තුළ වෛරසය තැන්පත්ව තිබී මතුවිය හැකි බවද හෙතෙම කීය.
සතුන් මගින් මිනිසාට මෙම රෝගය බෝවීමේ හැකියාවක් පවතින නිසා බාගෙට පිළිස්සු මස් අනුභව කිරීම, අමු බිත්තර හා රත් නොකර දියර කිරි පානය කිරීමත් අවධානම් යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
රෝගයේ අවධානම් තත්ත්වය තේරුම් ගෙන රජය යම් යම් යහපත් පියවර කිහිපයක් ගෙන තිබෙන බවද වෛද්‍යවරයා කීය.