බඹරුන්ට පෙම් බඳින බිඟු සම්පත වැඩ

පොළොව මට්ටමේ සිට අඩි 150 ක පමණ උසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ජල පොම්පාගාරයේ ඉහළ කොටසේ බැඳ තිබූ බඹර කූඩු 21 ක් බඹරුන්ට කිසිදු හානියක් නොවන සේ කපා ඉවත් කිරීම ඊයේ (08) බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථකව සිදු කෙරුණි.

මෙම බඹර කූඩු බැඳ තිබූ ස්ථානය ආසන්නයේම මෙරටට අවේනික පක්ෂියෙකු වන බඩ රත් වැහිළිහිණි කූඩු 150 ක් පමණ තිබූ බවත් ඒවට හානියක් නොවන ලෙස බඹර කූඩු ඉවත් කිරීමේ මෙහෙයුමට පැය පහක පමණ කාලයක් ගතවූ බවත් බිඟු සම්මත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා කීය.

වසර 60 ක් පමණ පැරණි මෙම ජල පොම්පාගාරය අලුත් වැඩියා කිරීම සඳහා කටයුතු සූදානම් කළ අවස්ථාවේ එහි ඉහළම කොටසේ බැඳ තිබූ බඹර වද ඉවත් කිරීම අත්‍යවශ්‍යය කාරනයක් වූයේ  පොම්පාගාරය අලුත්වැඩියා කරන කාර්මිකයන්ට ඉන් විශාල අනතුරක් ඇතිවීමේ අවධානමක් තිබූ නිසා බවත් මේ නිසා බඹරුන්ට හානියක් නොවන ලෙස ඒවා ඉවත් කිරීමේ වගකීම  මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානයට ලබාදුන් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පවසයි.

බඹර වද ආශ්‍රිතව විශාල වශයෙන් වැහිළිහිණි කූඩු පවතින පැවතීම නිසා බඹර වද ඉවත් කිරීම විශාල ගැටලුවක් වූ බවත් වැහිළිහිණියා ආරක්ෂිත සත්ත්වයෙකු බැවින් එම කූඩුවකට හානි කිරීම,ප්‍රවාහන කිරීම හා සන්තකයේ තබා ගැනීම වනජීවි පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවත්  තිස්ස බණ්ඩාර මහතා කීය.

බඹර කූඩු බැඳ තිබූ ස්ථානයට ළඟා වීම සඳහා පලංචි සකස්කර කිසිදු සත්ත්වයෙකුට හානියක් නොවන ලෙස බඹර වද  කබා ඉවත් කිරීමට හැකිවූ බවත් ‍‍මෙම මෙහෙයුමට තම සංගමයේ සමාජිකයින් හත් දෙනෙකු පමණ සහභාගි වූ බවත් බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සභාපති,තාක්ෂණ නිලධාරී මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.