බදුල්ලෙ මිනිස්සු මහින්දට පිටුපාන්නෙ නැහැ – උදිත

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය වූයේ ලාකේය දේශපාලනයේ පවතින විශාල හිදැසක් මකා ලීම සඳහා වන අතර එය සැබෑ වාමාංශික ව්‍යාපාරයක් බව බදුල්ල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ මැතිවරණ අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර පවසයි. “වි.ජ.මු ලොකු බණ්ඩාර එජාප බදුල්ල දිස්ත්‍රික් නායකයා වෙලා ඉද්දි මම මගේ පළවෙනි ඡන්දෙ බුලත් කොළයට දැම්මෙ, මේ දේශපාලනය ගැන තිබුණු ඇල්ම නිසා. මං දැක්ක දේශීය සංස්කෘතිය අගයන, අපේ කම රකින වටිනාකම් මේ පක්ෂේ තිබ්බා කියලා. මට මගේ ගෙදරින් උගන්වපු දෙයක් තිබ්බා. මං වජිරාරාම දහම් පාසලෙන් ඉගෙන ගත්ත දෙයක් තිබ්බා ඒ නිසා මට බැහැ කවදාවත් මහින්ද රාජපක්ෂට පිටුපාන්න. මං දන්නවා මේ බදුල්ල දිස්ත්‍රික්කෙ අපේ ජනතාවටත් බැහැ මහින්ද රාජපක්ෂට පිටුපාන්න. ඒ නිසා මේ පාරත් අපේ ජයග්‍රහණය නියතයි ඉරහඳ පායනවා වගේ˜ යැයිද මහියංගනයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී උදිත ලොකු බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

සියලූ දෙනා ආදරය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ පාමුල දණ නමන තත්තවයකට පත් කිරීමට ඇතමුන් ක්‍රියා කළ බව කනගාටුවෙන් සිහිපත් කළ යුතුව ඇති බවද හෙතෙම මෙහිදී පැවසීය. “නිදහස් පක්ෂය පාවා දෙන අවස්ථාවේ අපි තීරණය කළා එකට ඉන්න බැහැ කියලා. මොනතරම් වරදාන දෙනවා කිව්වත් අපේ හිත නැමුණේ නැහැ ද්‍රෝහීන් වෙන්න. 2015 අප්‍රේල් මාසෙ හිටපු ජනාධිපතිතුමා මාව කැෙඳව්වා එතුමාගෙ කාමරේට. කතා කරලා ඇහුවෙ උදිත ඔයා මොකද මේ මට පහර ගහන්නෙ කියලා. මං කිව්වා මං සර්ට ගහන්නෙ නැහැ. එතකොට කියනවා මං දැක්කා ඔයා ෆේස්බුක් එකෙන්, මට ගහන හැටි මමයි දැන් ජනාධිපති කියලා. එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අපි දින 100 ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන කාලෙ මට කිව්වා මං ඔහේගේ ආසන සංවිධායක කම ගලවලා දානවා කියලා. මං කිව්වා ඒකට කමක් නැහැ මං මහින්දගෙ මිනිහෙක් කියලා. එදා වගේම අදත් මං මහින්දගෙ මිනිහෙක්.˜

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ උදිත ලොකු බණ්ඩාර ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත් කළේ තමන් පිළිබඳ පැවති විශ්වාසය නිසා බවද එදා ආරක්ෂක ලේකම්වරයා අද රටේ ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින අතර ඒ තැබූ විශ්වාසය දෙගුණ තෙගුණ වී ඇති බව නියත බවද අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර මහතා පැවසීය. මහියංගනයේ අල්ලපු වැටේ මිනිස්සු අප්පච්චි මළා කියලා ඛෙරිහන් දෙද්දි තමන් ඇතුළු පිරිස එතුමාගේ දේශපාලන දර්ශනය ජීවමාන කිරීමට කැප වූ බව සිහිපත්  කළ උදිත ලොකු බණ්ඩාර පැවසුවේ මහියංගන ජනයාට සාධාරණය ඉටු විය යුතු බවයි. තමන්ටද වෙනත් දේශපාලනඥයන් මෙන් සජිත් ප්‍රේමදාසට බැණ අ`ඩගසන්නට, මැරයකු ලෙස පෙනී සිටින්නට පුලූවන් නමුත් සදාචාර දේශපාලනයේ අවශ්‍යතාව එය නොවන බව පෙන්වා දුන් ඔහු පැවසුවේ මේ මැතිවරණයේදී අවංක ගුණගරුක මිනිසුන් පාර්ලිමේන්තු යැවීමට බදුල්ලේ ජනයා දැනටම තීන්දු කර ඇති බවයි.

එළඹෙන මැතිවරණයෙන් දිනූ විගස බදුල්ල දිස්ත්‍රික්කයේ හා මහියංගනයේ ජනයාටද සාධාරණය ඉටුකරන අතර බඩගෝස්තරවාදී දේශපාලන සංස්කෘතිය නිමා කරන බවද ඔහු මෙම හමුවේදී පැවසුවේය. මහින්ද රාජපක්ෂ යුගයේ දස වසරක සංවර්ධනය තුළ 18 වංගුව දුර්ග මාර්ගය කෙළිං කර දුන් නමුත් ගමට අලි වැට ඉල්ලා දෙන්නට ඇතමුන්ට නොහැකි වූ බවද පෙන්වා දුන් උදිත ලොකු බණ්ඩාර ඌවේ මිනිසෙක් ලෙස මහ පොළවේ සුවඳ හඳුනන බැවින් ජනතාව බැඳ ඇති දේශපාලන දම්වැල්වලින් ජනයා මුදා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

කිසිවෙකුගේ අතකොලූ නොවී මෙවර ඡන්දය ලබා දී පත් කළ යුත්තේ සංවර්ධන පාර්ලිමේන්තුවක් බවද උදිතගෙන් පොරොන්දු ගන්නවා වෙනුවට ඡන්දයෙන් හදවතේ පණිවිඩය පක්ෂයට ලබා දී රට දිනවීමට එක්වන මෙන් සියලූ දෙනාට ආරාධනා කරන බවද මෙහිදී පැවසූ අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර පොහොට්ටුව රැක ගත්තේ කවුද යන්න දන්නා මිනිස්සු තමන්ටද මනාපයක් දෙන බව විශ්වාස යැයි පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *