බතික් පාට කරපු “මංගල” ආර්ථිකය කෑවා – ගාමිණී වලේබොඩ

2015 වසර ආරම්භ වන විට සියයට 07ක ආසන්නයේ පැවති ආර්ථික වර්ධන වේගය මෙන්ම වර්ධනය වෙමින් පැවති ඒකපුද්ගල ආදායමද ඉතාමත් කනගාටුදායක ලෙස පිරිහෙලන්නට මුදල් ඇමති මංගල සමරවීර සහ ජාත්‍යන්තර වෙළඳාම භාරව සිටි ඇමති මලික් සමරවික්‍රම ක්‍රියා කළ බව 2020 මහමැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක ගාමිණී වලේබොඩ පවසයි. බලංගොඩදී මාධ්‍ය අමතා ඔහු පැවසුවේ මංගල සමරවීර යනු ආර්ථික කළමනාකරණය නොදත් බතික් පාට කරන්නෙකු වන අතර මලික් සමරවික්‍රම රගර් ගැහිල්ල පමණක් දැන සිටි අයෙකු බවයි. මේ වනවිට බිඳ වැටී ඇති රටෙහි සාර්ව ආර්ථිකය පණ ගන්වා ඒ තුළින් පළාත් බද ආර්ථිකය නැංවීමේ සැළැසුම ඇත්තේ පොදු ජන පෙරමුණට පමණක් බවත් ඒ තුළින් බලංගොඩ වැනි ප්‍රදේශද දියුණු වන බවත් ඔහු මෙහිදී පැවසීය. “පසුගිය ආණ්ඩුව රටේ ආර්ථිකයෙන් සියයට 65ක බර උසුලන පුද්ගලික අංශය අසීමිත බදු පටවා අකර්මන්‍ය කළ බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි තමන්ද ඒ භයානක බදු පනතට එරෙහිව නඩු පැවරූ බවත් මෙම මාධ්‍ය හමුවේදී අපේක්ෂක ගාමිණී වලේබොඩ පැවසුවේය.

වසර ගණනාවක් රාජ්‍ය සේවයේ විවිධ ඉහළ තනතුරු දැරූ තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ කැපවීම මත රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව පවසන ඔහු පෙන්වා දෙන්නේ වියත් මග නියෝජනය කරමින් මෙවර තරඟ කරන බවයි. මේ වනවිට උගත් වියත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට යා යුතු බව විශ්වාස කරන ජනයා සංඛ්‍යාත්මකව වැඩි වී ඇති හෙයින් සිය ජයග්‍රහණය ස්ථීර බව ගාමිණී වලේබොඩ පවසයි. සාම්ප්‍රදායික හා ජරාජීර්ණ වූ දේශපාලනයට වියතුන් අභියෝගයක් වුවත් ඒ දේශපාලනය බාධාවක් යැයි නොසළකන්නේ, ඡන්දය දෙන්නේ ජනතාව බව දන්නා නිසා යැයිද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

හිටපු ඇමති අබුසාලි මහතාගෙන් පසුව වසර විසි ගණනක් තමන්ගේ උපන් ගම වන බලංගොඩට මන්ත්‍රීවරයෙකු නැති බවද මෙවර සිය ජයග්‍රහණයෙන් එම අඩුව සම්පූර්ණ වන බවද මෙහිදී පැවසූ පොදු ජන පෙරමුණ අපේක්ෂක ගාමිණී වලේබොඩ පෙන්වා දුන්නේ සිය අභිප්‍රාය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නියැලීම බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *