බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් දේශපාලනඥයෝ කොල්ල කති – දුම්රිය වෘත්තීය සමිති

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල දුම්රිය අංගන භූමිය, දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාගේ අවසරයකින් තොරව, ඩෝසර් කර ඇත. දුම්රිය ධාවන කටයුතු වලදී අවශ්‍ය වන මේ දුම්රිය ඉඩම් කිසිදු විමසීමකින් තොරව, අනවසරයෙන් අල්ලා ගැනීමට බණ්ඩාරවෙල නගර සභාව ආණ්ඩුවේ දේශපාලන බලවතුන් විසින් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ පවසයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වශයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, දුම්රිය ස්ථානය, දුම්රිය මාර්ග නඩත්තු අංශය හා දුම්රිය ගොඩනැගිලි අංශය දුම්රිය ධාවන කටයුතු වලට සම්බන්ධ වන අංශ ගණනාවකට අයත් මෙම දුම්රිය භූමිය, දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා ඉතා අත්‍යාවශ්‍ය භූමි භාගයක් වන බවයි. දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වල සම්පූර්ණ අයිතිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා සතුවන අතර, දැනට දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රයෝජනයට නොගන්නා යම් ඉඩම් කොටසක් වේ නම්, දුම්රිය ධාවන කටයුතුවලට බාධාවක් නොවන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන බදු ක‍්‍රමවේදය යටතේ,  ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා ගත හැකිව තිබියදී, දේශපාලන බල අධිකාරියේ බල පුළුවන්කාර කමින් බලහත්කාරී ලෙස අනවසරයෙන් එම ඉඩම් අත්පත්කර ගැනීමට කටයුතු කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුව තව තවත් පරිහානියට පත්කිරීමක් යනුවෙන්ද ජනාධිපතිවරයා ඇමතූ ලිපියෙහි සඳහන් වේ.

වාර්ෂිකව පාඩුව ගණනය කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ, යම් ක‍්‍රමවේදයක් තුලින් වාර්ෂික ආදායම් වැඩිකර ගැනීම සඳහා මෙම ඉඩම් යොදා ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ, ජනාධිපතිතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළද එහි පෙර දැක්ම සඳහන් කර ඇති බවයි. එහි දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

”දුම්රිය ස්ථාන හා බැඳුණු ප‍්‍රධාන නගර වල ඇති දුම්රිය ඉඩම් භාවිතයට ගෙන, සාප්පු සංකීර්ණ, මූල්‍ය සේවා, හෝටල්, කාර්යාල, සිනමා ශාලා, විනෝද මධ්‍යස්ථාන සහ තට්ටු නිවාස ආදියෙන් සමන්විත වානිජ මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර දුම්රිය සේවාවේ ආදායම් ඉහල නංවන වැඩ පිළිවෙලක් සකස් කෙරේ.”

”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

දේශපාලන හෝ ආණ්ඩුවේ බලහත්කාරය යොදා දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉහත වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන බව පෙන්වා දෙන අතර, බණ්ඩාරවෙල පමණක් නොව නාවලපිටිය හා පුත්තලම හා තවත් ප‍්‍රදේශ ගණනාවකම ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් ඇත.

ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විදුලිය පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා නියමිත මුදල් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතුය. ජලය පාවිව්චි කරන්නේ නම් ඒ සඳහා මුදල් ජල සම්පාදන මණ්ඩලයට ගෙවිය යුතුය. ඉන්ධන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අදාල ආයතනයට ගෙවිය යුතුය. එහෙත් දුම්රිය සතු ඉඩම් බලහත්කාරී ලෙස අල්ලාගෙන, දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු ආදායමක් නොලැබෙන පරිදි පරිහරණය කිරීමට කටයුතු කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන බරපතල අසාධාරනයක් බවද පෙන්වා දෙමු. යනුවෙන් පවසන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී විතානගේ, දැනට බණ්ඩාරවෙල හා නාවලපිටිය ප‍්‍රදේශ වල ආණ්ඩුවේ දේශපාලන බලවතුන් විසින් සිදු කරන දුම්රිය ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක‍්‍රියාව අත්හිටුවන ලෙසත්, ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට නිශ්චිත ආදායම් ලැබෙන ක‍්‍රමවේදයක් සකස් කර ඒ අනුව කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *