බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳපොල වසා දමයි.

බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳපොළ ඊයේ (07) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා. ඒ සඳහා වන තීන්දුව ගෙන ඇත්තේ බණ්ඩාරවෙල මහ නගරාධිපතිවරයා, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන්. ඇඳිරි නීතිය ඉවත්කරන අවස්ථාවල නගරයේ අධික තදබදයක් ඇතිවීම සහ එළවලු තොග වෙළඳපොලට ප්‍රදේශයේ ගොවීන් සහ පිටස්තර වෙළඳුන් විශාල පිරිසක් එකවර රැස්වීමෙන් කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් උද්ගත විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දීම නිසා බලධාරීන්ට මෙම තීරණයට එළඹීමට සිදු වුණා. කොතෙක් උපදෙස් ලබා දුන්නත් එළවලු තොග වෙළඳපොලට පැමිණෙන ජනයා අවම දුර පරතරයවත් තබා නොගන්නා බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත්, බලධාරීන් එළඹුනු මෙම තීරණයට ගොවීන් සහ තොග වෙළඳුන්ගෙන් එල්ල වූයේ විරෝධයක්. ඔවුන් දැනුවත් කිරීම සඳහා අද (08) පැවති හමුවකදී බලධාරීන් වෙත කිසියම් විරෝධයක් එල්ල වුණා. එහිදී ගොවීන් සඳහන් කර සිටියේ, මේ බොහෝ උඩරට එළවලු වර්ගවල අස්වනු නෙළන සමය වන බැවින් තොග වෙළඳපොළ වසා දැමීම නිසා තමන්ට ඉසිලිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බවයි. ගොවි නිෂ්පාදන මිළදී ගන්නා තොග වෙළඳුන්ද පැවසුවේ මෙවැනි තීරණයක් නිසා දිවයින පුරා එළවලු බෙදා හැරීමට බාධා සිදුවිය හැකි බවයි.
මේ තත්ත්වය මත ගොවීන් හා තොග වෙළඳුන්ගේ අදහස්ද සැළකිල්ලට ගනිමින් අවසානයේ නව අලෙවිකරණ සැළැස්මක් හඳුන්වා දුන්නා. ඒ අනුව එළවලු තොග නගර මධ්‍යයට ගෙන ඒම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. ගොවීන්ට වෙළඳුන් හා සම්බන්ධීකරණය ඇතිව තම නිෂ්පාදන තමන් පැමිණෙන මාර්ගය අනුව ඇල්ලේතොට, කිනිගම, අමුණුදොව හෝ ශාන්ත තෝමස් හංදිය යන ප්‍රදේශවල තබා අලෙවි කළ හැකි අතර තොග වෙළඳුන්ට එම ස්ථානවලදීම පිටස්තර වෙළඳුන් වෙත තොග අලෙවි කිරීමට උපදෙස් දී තිබෙනවා.
මෙලෙසම අද දිනයේ සිට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමුණා. එහි එන ගොවීන්ගේ එළවලු තොගද වැලිමඩ නුවරඑළිය මාර්ගයේ නියමිත ස්ථානවලදී අලෙවි කිරීම අදත් සිදු වුණා. කෙසේවෙතත් බදුල්ල දිස්ත්‍රික්කය දිවයිනේ අර්තාපල් හා බෝංචි නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක් හා වෙනත් උඩරට එළවලුද බහුලව නිපදවන නිසා තත්ත්වය නියමානුකූලව කළමනාකරණය කරගත යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.