පෝට් සිටිය රටේ නීතියට කබ්රාල් මහ නාහිමිවරුන්ට කියයි

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස ගැසට් කර තිබෙන බවත් එහි සියලු වැඩකටයුතු මෙරට නීතියට අනුව සිදුවන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (18) මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසූහ.

ජනපති හා අගමැති උපදෙස් මත රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා පෙරේදා (18) පෙරවරුවේ මල්වතු අස්ගිරි උභය මහා විහාර වලට ගොස් වරාය නගරය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුම්වත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් වූහ.

මෙම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා 83000 ක් අලුතින් බිහිවන බවත් මෙය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වන බැවින් ඇතැම් පිරිස් දේශපාලනික වශයෙන් ඔවුන්ට සිදුවන අයපත සැලකිල්ලට ගෙන මෙයට එරෙහි වැරදි මතවාදයක් ගොඩනගන්නට උත්සහ කරමින් සිටින බවත් කබ්රාල් මහතා කීය.

වත්මන් රජය සෑම විටම කටයුතු කරන්නේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අවවාද හා අනුශාසනා වලට කන්දී බවත් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ගොඩනැගෙමින් තිබෙන වැරදි මත සම්බන්ධයෙන් මුලින්ම මහනාහිමිවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබුවේ ඒ නිසා බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

වරාය නගරය පාලනය වන්නේ කොමිෂන් සභාවක් මගින් බවද ඒ මහතා කීය.විදේශ විනිමය අති විශාල ප්‍රමාණයක් රටට ගලාඑන මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවත් යුද්ධයෙන් පසු රට සංවර්ධනය වූ ආකාරයට මෙම ව්‍යාපෘතිය මගින්ද රට විශාල ආර්ථික පිබිඳීමකට ලක්වීම සම්බන්ධයෙන් ඇතැම් අය බියට පත්ව සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවන ඕනෑම අවස්ථාවක මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුම්වත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් විනිවිද භාවකයින් තොරව හොර රහසේ කිසිවක් කරන්නට වත්මන් රජය කටයුතු නොකරන බවත් හෙතෙම පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ වරාය නගරය සම්බන්ධයෙන් නොයෙකුත් කතා අසන්නට ලැබෙන බැවින් රජය විසින් ඒ සම්බන්ධව මහ සංඝරත්නය දැනුම්වත් කිරීමට පියවර ගැනීම අගය කරන බව ප්‍රකාශ කළහ.

වත්මන් රජය රටට හානිකර කිසිවක් සිදු නොකරනු ඇතැයි යන විශ්වාසය මත ජනතාව විශාල ජනවරමක් ලබාදී තිබෙන බවත් එම විශ්වාසය තහවුරු කරමින් කටයුතු කිරීම රජයේ වගකීම බවත් උන්වහන්සේ පැවසූහ.

වරාය නගරයට අදාළ කොමිෂන් සභා පනත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යන්‍යය කිරීමට රජය විසින් කමිටුවක් පත්කරන බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.

එලෙස කමිටුවක් පත්කරන්නේ නම් එයට රජයට හිතවත් අය පමණක් නොව දැන උගත් මධ්‍යස්ථ පිරිසක්ද ඇතුළත් විය යුතු යැයි මල්වතු මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.