පොහොර හිඟයි ගොවියො කලකිරිලා – නිමල් පියතිස්ස

ආනයනික කාබනික පොහොර මේ මහ පොළොවට දැමීමෙන් අපේ ජෛව විවිධත්වය,ක්ෂුද්‍ර ජීවීන්ට දැඩි අයහපත් බලපෑමක් සිදුවීමේ අවධානයක් තිබෙන බවත් මෙය එක්තරා අන්දමකින් ජීවි අවි ප්‍රහාරයකට ලක්වීම හා සමාන ක්‍රියාවලියක් බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ජනාධිපතිතුමා රසායනික පොහොර භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයක් මෙරට ඇති කිරීමට තීරණය කරනු ලැබුවේ ඉතා සත්භාවයෙන් වුවත් කඩිමුඩියේ එය කරන්නට යෑමෙන් රට විශාල අනතුරකට ලක්වීමේ අවධානයක් තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවරදී පෙරේදා (02) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.එහිදී වැඩිදුරටත් කතාකළ නිමල් පියතිස්ස මහතා මෙසේද පැවසුවේය.

ජනාධිපති තුමා තීරණ කළා කෘෂිකාර්මාන්තට යොදන රසායනික පොහොර වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට.ඒත් සමඟ අපි දන්නවා රටේ ගොවි ජනතාව යම්කිසි ආකාරයක නොසන්සුන්තාවකට පත්වූ බව.උඩරට විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් සියලුම එළවළු වගා කෙරෙන්නේ රසායනික පොහොර භාවිතයෙන්.අපේ රටේ අවශ්‍යය තරම් කාබනික පොහොර නැති වටපිටාවක ක්ෂණිකව මේ ගන්නා ලද තීරණය රටේ සමස්ත ගොවි ජනතාවට අයහපත් ලෙස බලපා තිබීම සම්බන්ධව විවාදයක් නැහැ.මේ වනවිට අලුතින් අරගෙන තිබෙන තීරණයක් මත බහුජාතික සමාගමකට අයිතය යන විදිහට විදේශීය රටවල් වලින් කාබනික පොහොර ආනයනය කිරීමේ කටයුත්තක් සම්පාදනය කර තිබෙනවා.ඒ සඳහා  කැබිනට් පත්‍රිකාවක් පවා මේවන විට සකස්ව තිබෙනවා.කාබනික පොහොර විදේශ රට වලින් ආනයනය කරනවා කියලා කියන්නෙම ජීව අවි ප්‍රහාරයකට වඩා  දරුණු තත්ත්වයක් නිර්මාණය වෙනවා.අපේ සමස්ත ජෛව විවිධත්වයටම මේ මගින් ප්‍රබල බලපෑමක් එල්ලවෙනවා.මේ කාරනය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වෙන්න ඕන.

ජනාධිපතිතුමා සත්භාවයෙන් ඒ තීරණය ගත්බව ජනතාව දන්නවා.නමුත් මෙය ක්‍රමිකව පියවරෙන් පියවර සිදුවිය යුත්තක්.කවුරුත් දන්නවා රට තුළ රසායනික පොහොර  භාවිතය නිසා වෙච්ච හානියක් තිබෙනවා.අනිටු විපාක රැසක් සිදු වුණා.එහෙත් මේ ගන්න ක්‍රියාමාර්ගයත් එක්ක පිට රට වලින් විවිධ වර්ගයේ කැළි කසළ රටට එනවා.අපේ මහ පොළොවට,පරිසරයට ඒවායින් ප්‍රබල බලපෑම් එල්ල විය හැකියි.අපේ පරිසරයට ආවේණික ක්ෂුද්‍ර ජීවීන් පවා විනාශවන වෙන්න ලොකු ඉඩක් තිබෙනවා.මේක අපේ ජෛව විවිධත්වයට ප්‍රබල බලපෑමක් එල්ල වන කාරනයක්.ජනපතිතුමාගෙන්  ඉල්ලනවා අපේ පරිසරයට ගැලපෙන ආකාරයේ කාබනික පොහොර නිර්මාණය කර ගැනීමේ ගැටලුවක් අපිට නැහැ.අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයක් මේවන විට විධිමත්ව සිදුවන්නේ නැහැ.රසායනික පොහොර ගෙන්වීම නතර කළා වගේම ඊළඟට සිදුවන දේ තමයි කාබනික පොහොර ආනයනය කිරීම තුළින් රටත් ජාතියත් ලොකු අනතුරකට තල්ලු වීම.අධික ලාභය මත පදනම් වූ මාෆියාවක් මේක.කිසිදු යහපත් ප්‍රතිපලයක් රටට නැහැ.ගොවි ජනතාවගේ ඡන්දය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස මම මේකට විරුද්ධයි. මහජන නියෝජිතයින් සැවොම මේකට විරුද්ධ විය යුතුයි.

මුළු ලෝකයම මාරාන්තික උවදුරකට අද මුහුණ දී සිටිනවා.අලුත් අත්හදා බැලීම් කරන්න වෙලාවක් නෙවෙයි මේක.ඉදිරියේදී අස්වනු අඩුවෙලා ආහාර හිඟයක් ඇති වුණොත් ලොකු අර්බුදයකට රට තල්ලු වෙනවා.මේ තීරණය නිසා ගොවි ජනතාව දැඩි කළකිරීමකින් ඉන්නේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.