පොලීසියට බෝම්බ ගැසූ තරුණයාට වෙඩි

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන කුඹුක්කඳුර ප්‍රදේශයේදී පොලිස් කැබ් රථයකට පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියකට අදාළව ඊයේ (01) පස්වරු 6.20 ට පමණ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් පළා යෑමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පාදයකට වෙඩි වැදී විසි හැවිරිදි තරුණයෙකු තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැදුණු සැකකරු සමඟ එම අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබ ඇත.

කුඹුක්කඳුර ප්‍රදේශයේ සැකකටයුතු වාහනයක් තිබෙන බවට පසුගිය 30 දින තෙල්දෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩාමක් එහි ගොස් තිබේ.අදාළ වාහනය තුළ කඩු දෙකක් හා කඹයක් තිබෙන බව පටත සිට නිරීක්ෂණය කිරීමෙන් පසු පොලිස් අපාරාධ නිරීක්ෂණ කණ්ඩායමක් එම ස්ථානයට කැඳවීමට තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇත.පොලිස් කැබ් රථය අදාළ ස්ථානයට ළඟා වනවිට කැලයේ සැඟව සිටි පිරිසක් පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් කුඹුක්කඳුර ප්‍රදේශයේ සැඟව සිටින බවට ඊයේ (01) පස්වරුවේ ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් තිබේ.එම අවස්ථාවේ එක් සැකකරුවෙකු පළා යෑමට උත්සහ කිරීමේදී පොලිසීය සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇත.

සැකකරුවන් අතරින් එක් අයෙකු නාවුල ප්‍රදේශයේදී පොලිස් ග්‍රහණයෙන් මිදී පළාගිය අයෙකු බවත් තවත් පුද්ගලයෙකු මහියංගණ අධිකරයේදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගිය අයෙකු බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් මත්ද්‍රව්‍යය ජාවාරමට හා ගවයින් සොරාගෙන ගොස් අළෙවි කිරීමේ ජාවාරමක නිරත බවට පොලීසිය සැකකරයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස් පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.