පේරාදෙණිය ළමා රෝහලේ එම්. ආර්. අයි යන්ත්‍රය හදන්න ගෙවපු කෝටියක් වතුරේ. බලධාරීන්ගෙ නොසැළකිල්ලෙන් මහජන සම්පතක් අහිමි වෙයි.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල සඳහා රුපියල් කෝටි ගණනක් වැයකර ලබාගන්නා ලද එම්.ආර්.අයි යන්ත්‍රය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීයවී ඇතැයි දැන ගන්නට තිබේ. වසර තුනක් තිස්සේ විටින් විට අක්‍රීයවූ මෙම යන්ත්‍රය පෞද්ගලික ආයතනයක සහය ලබා ගනිමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා ප්‍රතිසංස්කරණය කර තිබෙන නමුත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවුණු බව රෝහල් සේවකයෝ පවසති. අක්‍රීයව පැවැති මෙම යන්ත්‍රය අලුත්වැඩියා කර 2018 පෙබරවාරී මස 15 දින අදාළ සමාගම විසින් බාරදුන් නමුත් පසුදින සිට එය යළිත් අක්‍රීය වූ බව විකිරණ අංශය රෝහල් අධ්‍යක්ෂ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.පසුව යළිත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබෙන යන්ත්‍රයට 2018 වසරේ මාර්තු මස 12 දින රෝගියෙකු සමඟ ගෙනා ඔක්සිජන් සිලින්ඩරයක් ඇඳී ගොස් සිරවී තිබේ. යන්ත්‍රය වටා ඇති චුම්භක ක්ෂේත්‍රයට ලෝහමය ද්‍රව්‍යය ඇද ගැනීමේ ශක්තියක් ඇති බැවින් මෙම සිලින්ඩරය ඒ තුළට ඇදී ගොස් තිබෙන අතර සිලින්ඩරය ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ. අදාළ සමාගම විසින් 2018 අගෝස්තු මස 09 දින එම සිලින්ඩරය ඉවත්කර තිබෙන නමුත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත්ව නොතිබියදී මුදල් ගෙවීම් සිදුකර තිබෙන බව වාර්තාවෙයි. පළාත් 07 ක ළමා රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබාදීමට ඇති එකම රෝහල පේරාදෙණිය රෝහල වන අතර මෙම යන්ත්‍රය වසර තුනක් තිස්සේ වැඩි කාලයක් අක්‍රිය වීම නිසා එම්.ආර්.අයි පරීක්ෂණ වලට යොමුකෙරෙන ළමුන්ගේ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් 20000.00 ක පමණ මුදලක් ගෙවීමට දෙමව්පියන්ට සිදුව තිබේ. රජයේ වියදමින් අදාළ පරීක්ෂණය සිදුකරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පළාතේ පහසුකම් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පමණි.එහි පොරොත්තු ලේඛණයට අනුව පරීක්ෂණය සිදුකර ගැනීම සඳහා අවම තරමින් මාස 06 ක පමණ කාලයක් ළමුන්ට ඉන්නට සිදුවෙයි. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය හීලියම් වායුව නිසි ලෙස නොසැපයීම නිසා දැනට වසරක පමණ කාලයක සිට එහි චුම්භක බලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේ නැවත එය ප්‍රයෝජනයට ගත නොහැකි පරිදිය.මේවන විට එම්.ආර්.අයි යන්ත්‍රය ඇති කාමරයට සීල් තබා තිබෙන අතර මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාශයෙන් මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බවයි.

ඒ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙරේදා (14) පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඇති දැනට අකර්මාණ්‍ය තත්ත්වයේ පවතින රුපියල් කෝටි 30 ක පමණ වටිනාකමින් යුත් එම්.ආර්.අයි පරීක්ෂණ යන්ත්‍රයේ තත්ත්වය පිළිබඳව විමසා බැලීය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එහිදී එම්.ආර්.අයි පරීක්ෂණ යන්ත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් එමගින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීමෙන් පළාත් හතක ළමා රෝගීන් පත්ව තිබෙන අසීරුතාව සම්බන්ධවත් ඇමැතිවරයා දැනුම්වත් කළේය. වසර 2006 රෝහල් විවෘත කිරීමත් සමඟ මෙම යන්ත්‍රය රෝහලට ලැබී තිබෙන බවත් 2017 දක්වා එමගින් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් වීරබණ්ඩාර මහතා පැවසුවේය. රුපියල් කෝටි ගණනක් වටිනා එම්.ආර්.අයි යන්ත්‍රය නිසි නඩත්තු කිරීමක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව තිබෙන අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙහිදී අමැතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *