පේරාදෙණිය සරසවියෙත් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අලුතින් ඉදිකළ ශිෂ්‍ය නේවාසිකාගාරක් අංග සම්පූර්ණ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  ලෙස පරිවර්තනය කර විවෘත කිරීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය උපුල් බී.දිසානායක මහතා අතින් ඊයේ (31) සිදු කෙරුණි.

එකවර රෝගීන් 200 දෙනෙකුට නේවාසිකව  ප්‍රතිකාර ලැබිය හැකි මෙම සිව් මහල් ප්‍රතිකාර මධ්‍යස්ථානය මහකන්ද ප්‍රදේශයේ පිහිටා ඇත.තුන් දහසක් පමණ වන විශ්ව විද්‍යාල සේවක ප්‍රජාවට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට කොවිඩ් රෝගය සදහා වන මූලික වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඉදිරියේදී විශ්ව විද්‍යාල ආරම්භ වීමෙන් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව කොවිඩ් වසන්ගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම මෙම අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය  ස්ථාපිත කිරීමේ අරමුණ බව උපකුලපති මාහාචාර්ය උපුල් දිසානායක මහතා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානය හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යනු ලබන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරන කොවිඩ් රෝගියෙකුට මූලික ප්‍රතිකාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් ලබා දීමට සැළසුම්කර තිබේ.යම් ලෙසකින්  රෝගියකු අසාධ්‍යය තත්ත්වයට පත් වුවහොත්  ඉතා කෙටි කාලයකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට එම රෝගයා ඇතුළත් කිරීමට අවශ්‍ය සියලු  පහසුකම් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සතු වන බවද උපකුපතිවරයා කීවේය. .

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආසිරි අබේගුණවර්ධන,විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශාලුක කොඩිතුවක්කු ,ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මාහාචාර්ය ගැමුණු හේරත් ,කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මාහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර,සමසෞඛ්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.බී.මාරසිංහ,වැඩබලන ලේඛකාධිකාරි ජයන්තා ධර්මසිරි,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ප්‍රධාන  වෛද්‍ය නිලධාරි චන්දිමා හේරත්,මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේවික්‍රම,ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩිනාල් රත්නායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.