පූසන්ටත් කොවිඩ් හැදෙන්න පුලුවන් – වෛද්‍ය ඩිලාන් සතරසිංහ

කොවිඩ් ආසාදිත සත්ත්වයෙකු මෙරටින් වාර්තා වී තිබෙන බැවින් උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් නිවසේ ඇති කරන සුරතල් සතුන් ගෙන් ඈත්ව සිටීම වඩා යෝග්‍ය බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු මූලීක දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ඩිලාන් ඒ සතරසිංහ මහතා පවසයි.

මිනිසාගෙන් සතුන්ට මෙම රෝගය බෝවන බව මේවන විට සොයාගෙන තිබෙන බැවින් යම් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු විශේෂයෙන් පූසන් වැනි බිලාල කුලයට අයත් නිවසේ ඇති කරන සත්ත්වයෙකු සමඟ ළඟින් ගැවසුනහොත් එම සත්ත්වයට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බවද ඒ මහතා කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දැනට මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන සතුන් සැලකීමේදී බිලාල කුලයට අයත් සිංහයින්,කොටි වැනි විශාල සතුන්ට රෝගය වැළඳීමේ වැඩි ප්‍රවනාතවක් දක්නට ලැබෙන බවද ඒ මහතා කීය.

‍‍දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට මේවන විට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබීම නිසා ‍මෙරට ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවද සතරසිංහ මහතා පැවසුවේය.

මෙයට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර සහ ඉන්දියාවේ සත්වෝද්‍යාන වල සිංහයින්ට හා කොටින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවත් වෛරසය සතුන්ට පැමිණ ඇත්තේ මිනිසා ගෙන් බවට ජත්‍යන්තර විද්‍යා සඟරාවල සඳහන්ව තිබෙන බවත් කී ඒ මහතා මෙරට සත්වෝද්‍යානයේ සිංහයාට වෛරසය පැමිණියේ මිනිසෙකුගෙන්ද යන්න පිළිබඳව සැකකෙරෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධව නිශ්චිතව ප්‍රකාශයක් කළ නොහැකි බවද අවධාරණය කළේය.

එය තහවුරු කිරීම පිණිස කොවිඩ් ආසාදිත සිංහයගේ ජාන විශ්ලේෂණයක් සිදුකළ යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

සත්වෝද්‍යානයේ සිටින දේශිය වඳුරෙකුගේ සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකර තිබෙන බවද ඒ මහතා කීය.

කොවිඩ් අසාදිත සිංහයා පවුලක් ලෙස සිංහ ධේනුව හා පැටවුන් තිදෙනෙකු සමඟ ජීවත්ව ඇති බැවින් එම සතුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් තිබෙන බවද සතරසිංහ මහතා පැවසුවේය.

බල්ලන්ට මෙම වෛරසය ආසාදනය වීම සඳහා ඇත්තේ ඉතා අඩු අවස්ථාවක් බව මේවන විට පෙනෙන්ට තිබෙන බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා අවධාරණය කළේය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.