පුරවැසියාට කොකා පෙන්වන, පාර්ලිමේන්තු විනය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් සපිරුණු පසුගිය අප්‍රේල් 21 දින, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කලහකාරී ලෙස හැසිරුණු අතර, එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය බව වාර්තා වන්නේය. සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජානක තිස්සකුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගැබ තුළදීත්, පහළ මාලයේ කොරිඩෝවේදීත් ගැටුම් ඇතිකරගත් බව වාර්තා වන්නේය. මෙම කාලගෝට්ටිය හේතුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල් දැමුණු අතර, ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කතානායකවරයා තීරණය කොට ඇත්තේය.

ඊට පසුදින පාර්ලිමේන්තුව අමතමින්, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙසේ පැවසීය “අලූත් මන්ත්‍රීවරයෙක් පත්වුණාම පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුවත් කළ යුතුයි. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ගෞරව කිරීමට උගන්වන්න. ගිය සැරේ උස්සාගෙන ගියේ කතානායකගේ පුටුව පමණයි. දැන් මේ දඟලන දැඟලිල්ලට කතානායකත්  එක්කම පුටුව උස්සාගෙන යාවි. ඒ නිසා මේ ගැන යම් පාලනයක් කරන්න. ඇඟේ හයියෙන් සහ කටේ හයියෙන් හැමදේම කරන්න යනවා නම්, ජනතාව බලාපොරොත්තු වූ දේ පාර්ලිමේන්තුවෙන් කරන්න බැරි වේවි.”

2018 නොවැම්බරයේදී ද, මීටත් වඩා දරුණු කාලගෝට්ටියක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදු වූ අතර, ඒ අවස්ථාවේදී ද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් පරුෂ වචනවලින් බැණවදිමින් අශෝභන ලෙස හැසිරුණහ. සමහර මන්ත්‍රීවරු පොත්වලින් මෙන්ම පුටුවලින් ද දමා ගැසූහ. එක් මන්ත්‍රීවරයෙකු අත පිහියක් තිබුණු බවත්, තවත් මන්ත්‍රීවරයෙකු මිරිස් කුඩු කලවම් කරන ලද ද්‍රාවණයකින් දමා ගැසූ බවත් මාධ්‍ය වාර්තා කොට තිබුණේය.

අප මේ ගෙනහැර දැක්වූයේ මෑත කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින් දක්නට ලැබුණු නොමනා හැසිරීම් රටා පිළිබඳ උදාහරණ දෙකක් පමණය. පසුගිය කාලය පුරා ම නිරතුරුව මෙවැනි සිද්ධීන් දකින්නට අසන්නට ලැබුණු අතර, තවත් එවන් උදාහරණ ගණනාවක් ම මෙහිලා ගෙන හැර දැක්විය හැකිය. විශේෂයෙන්, පාර්ලිමේන්තු වාද විවාද රූපවාහිනියෙන් දැක බලා ගැනීමට ජනතාවට මෑතක සිට අවස්ථාව ලැබී ඇති හෙයින්, තමන් විසින් තෝරා පත්කර යවන ලද මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව ද ජනතාවට ලැබී ඇත්තේය. අඩුම තරමින්, වාදවිවාද පැවැත්වෙන අවස්ථාවේ හෝ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටීමට තරම් වූ ස්වයං විනයක් (හැදියාවක්) ඇතැම් මන්ත්‍රීවරුන් වෙතින් දක්නට නොලැඛෙන අතර, සිය කතාව පැවැත්වීමෙන් පසුව හෝ තමන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමෙන් පසුව බොහෝ දෙනෙකු සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැඛෙන්නේය.

එහෙත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සභා ගර්භයට පැමිණෙන අවස්ථාවන්හිදී නම් ඔවුන්ගෙන් ලකුණු දමාගැනීමට, සමහර මන්ත්‍රීවරුන් කඩිමුඩියේ දිව එන ආකාරය හාස්‍යය උපදවන තරම්ය. වඩාත් හාස්‍යයට හේතුවන්නේ, කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු කතාවක් පටන් ගත්විට, සමහර මන්ත්‍රීවරුන් වහා දිවවිත් ඔහුට පිටුපසින් ඇති හිස් අසුනක වාඩිවීමය. මෙහිදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ කථීකයා හරහා තමන්ගේ මුහුණ ද රූපවාහිනී තිරයට ඇතුළු කරගැනීම බව පැහැදිලිය. එපමණක් නොව, කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු කතාවක් කරද්දී ඔහුට සවන් දෙනු වෙනුවට, ඇතැම් මන්ත්‍රීවරුන් තැන් තැන්වලට වී තම තමන්ගේ සාකච්ඡා පැවැත්වීමද, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විනය පිරිහීමට තවත් හේතුවක් වී ඇත්තේය. රටේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා වැදගත් ආයතනයක් වන පාර්ලිමේන්තුව තුළ මෙයාකාරයට විනය පිරිහීම පිළිබඳව හා එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම පිළිබඳව, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් එකසේ වගකිව යුතුය. ආධුනික මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ද එකසේ වගකිව යුතුය.

අද තත්ත්වය මෙතරම් කනගාටුදායක වුවද, අතීතයේ අපේ පාර්ලිමේන්තුව ගුණාත්මකභාවය අතින් මීට වඩා ඉහළ මට්ටමක පැවති බව ඉතිහාසය සාක්ෂි දරන්නේය. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව තෝරා පත්කර ගන්නා ලද ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පනස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් 18 දෙනෙක් ම නීතිඥයෝ වූහ. එක් ඉංජිනේරුවෙක් මෙන්ම වෛද්‍යවරු දෙදෙනෙක් ද ඒ අතර වූහ. ගුරුවරුන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අතර, ඉඩම් හිමි වැවිලිකරුවෝ 15 දෙනෙක් ද ඒ අතර වූහ. එදාමෙදා තුර ගත වූ වසර 90ක කාලය තුළ, පාර්ලිමේන්තුවේ ගෞරවය රැකගනිමින් රටේත් ජනතාවගේත් උන්නතිය උදෙසා අවංකව කැපවුණු මන්ත්‍රීවරුන් කොතෙකුත් සිටි අතර, අදටත් අප රට තුළ යම් මට්ටමකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී පවතින්නේ ඔවුන්ගෙන් ඉටුවුණු ඒ මෙහෙවර නිසාවෙනි.

නිදසුනක් ලෙස, වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා දශක හතරක කාලයක් මන්ත්‍රීවරයෙකුව සිටිමින්, ලාංකේය පාර්ලිමේන්තුවේ ගෞරවය ඉහළට ඔසවා තැබූ විශිෂ්ඨ ගණයේ උගතෙකි, බුද්ධිමතෙකි. එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ම ලබා සිටි නිසා, “ඩබල් ඩොක්ටර්” නමින් හඳුන්වනු ලැබූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දේශන දේශපාලන විද්‍යාව හදාරන සිසුනට අත්පොතක් බඳු වන්නේය. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් ලංකාවට හඳුන්වාදීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇන්.ඇම්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සකස් කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ ආදර්ශමත් මන්ත්‍රීවරයෙකි. ඇන්.ඇම්.ගේ දේශපාලන සගයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද, පාර්ලිමේන්තුවේ කීර්තිනාමය රැකගැනීම උදෙසා ඇන්.ඇම්.ට නොදෙවෙනි සේවයක් ඉටු කළ මන්ත්‍රීවරයෙකි. ඇන්.ඇම්. පරිද්දෙන්ම, කොල්වින් විසින් ද පාර්ලිමේන්තුවේ කරන ලද කතා ක්‍රියාකාරී දේශපාලනඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වන්නේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරය ඒකාධිපති ක්‍රමයකට මං පාදන බව කියමින්, කොල්වින් ආර්. ද සිල්වා මහතා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේය.

මෙයාකාරයට, ලාංකේය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ලෝකය පුරා ම ගෞරවාදරයට පාත්‍ර වූ මන්ත්‍රීවරුන් බොහොමයක් සිටි අතර, ලක්ෂමන් කදිරගාමර් මහතා ද මෑත කාලයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන්නට පෙරාතුව, කදිරගාමර් මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නැත. ඒ වනවිට ඔහු කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවූවා පමණක් නොව, එක් වතාවක් හෝ දේශපාලන රැළියක් අමතා තිබුණේ ද නැත. එහෙත්, 2005 අගෝස්තු 12 වැනිදා එල්ටීටීඊ මිනීමරුවෙකු අතින් ඝාතනයට ලක්වන තෙක්, දශකයක කාලයක් තිස්සේ ලක්ෂමන් කදිරගාමර් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතින් සිදුවූ සේවය අති මහත්ය. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ හොඳම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන කදිරගාමර් මහතා, වසර 90ක ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වූ විශිෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවට අනිවාර්යයෙන් ම එකතු වන්නේය.

කෙසේ වුවද, යටකී පරිදි, මෑත කාලයේ ලාංකේය පාර්ලිමේන්තුවේ විනය හා ගෞරවය තදින් ම පිරිහී ඇත්තේය. 1994 අගෝස්තුවේ සිට 2000 ඔක්තෝබර් දක්වා වසර හයක කාලයක් කතානායකවරයාව සිටි කේ.බී. රත්නායක මහතා ද පාර්ලිමේන්තුවේ විනය ඛේදනීය ලෙස පිරිහීම පිළිබඳව කිහිප වරක් ම අවධාරණය කර සිටියේය. කේ.බී. රත්නායක මහතා පමණක් නොව දේශපාලන විශාරදයන් හා විද්වතුන් බොහෝ දෙනෙකු විසින් පසුගිය කාලය තුළ මේ ගැන නොයෙකුත් විවේචන, අනතුරු ඇඟවීම් කරනු ලැබුවේය. වෙනකක් තබා, 2018 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ම, “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය” ක් සම්මත කරනු ලැබුවේ ද මේ නිසාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඡන්දදායකයන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වගකීම් ඉටුකිරීම සඳහා සහාය වීම, මෙම චර්යා ධර්ම සංග්‍රහයේ අරමුණ බව සඳහන් වන්නේය. මෙහි පස්වන කොටස “චර්යා රීති” නමින් හැඳින්වෙන අතර, සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුව තුළ පිළිපැදිය යුතු රීති එහි ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත්තේය. “සෑම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තුව ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම සඳහා දායක වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව වගකිව යුතු” බව මෙම චර්යා ධර්ම සංග්‍රහයේ 19 වැනි වගන්තියේ සඳහන් වන්නේය. තවද, “සෑම මන්ත්‍රීවරයෙකු ම සිය සාමාජික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද, මහජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව, ආචාරශීලීව, සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු” බව චර්යා ධර්ම සංග්‍රහයේ 32 වැනි වගන්තියේ සඳහන් වන්නේය.

මෑත කාලය තුළ, සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි වන ආකාරයෙන් මෙන්ම කිසිදු ආචාරශීලීභාවයකින් තොරව හැසිරෙන්නේ, මෙම චර්යා ධර්ම සංග්‍රහය පිළිබඳව දැනුවත් වී නැති නිසාද? රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන පරිදි, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ගෞරව කිරීම ඇතුළුව සියලූ ආචාරධර්ම පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යය ය. මෙහිදී, නවකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ද එකසේ දැනුවත් කිරීම අවශ්‍යය ය. මන්ද යත්, පාර්ලිමේන්තුවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් රටා නවක මන්ත්‍රීවරුන්ට කිසිසේත් ම ආදර්ශයක් නොවන්නේය. රටක උත්තරීතර ම ආයතනයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තුව තුළ ඊට නොගැලපෙන මෙම නොමනා හැසිරීම් රටා, ඉහත කී පරිදි, ආධුනික මන්ත්‍රීවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වෙතින් ද එකසේ දිස්වන්නේය.

මෙය එක්තරා අන්දමක දුර්වල මානසික තත්ත්වයක් දැයි සැක සිතෙන තරමට, සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිගත නොහැකි මට්ටමක පවතින්නේය. මේ සම්බන්ධයෙන් සමාජයීය මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලෝ පුරා බොහෝ දේශපාලනඥයන් තුළ සාවද්‍ය ස්වයං තක්සේරුවක් පවතින අතර, සැබෑ තත්ත්වය වසන් කොට සමාජය ඉදිරියේ තමන්ව පුම්බා පෙන්වීමට සමහර දේශපාලනඥයෝ නිරන්තර උත්සාහයක නිරත වෙති. මේ නිසා ම, ඇතැම් විට ඔවුන්ගේ ස්වයං පාලනය අඩු වී ස්වයං විනය බිඳී යා හැකිය. ස්වයං විනය එක්තරා සීමාවකට වඩා අඩු වූ විට, ඔවුන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් කරා ද වර්ධනය විය හැකිය. තවද, දේශපාලනඥයන් පමණක් නොව ඕනෑම පුද්ගලයෙකු සතුව දීර්ඝ කාලයක් තිස්සේ පැවති බලය හා තනතුරු අහිමි වූ විට ද, ඔහු ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවන්ට යොමුවීමට ඉඩ ඇත්තේය. පරාජිත මානසික ක්‍රියාකාරිත්වයක් යටතේ දේශපාලනඥයන් වෙතින් ප්‍රචණ්ඩකාරී හැසිරීම් දිස්වීම, මනෝ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලනා විට අස්වාභාවික සංසිද්ධියක් නොවන්නේය.

එසේ වුවද, ජාතික වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති මෙබඳු කාරණාවලදී හුදු මනෝ විද්‍යාත්මක විග්‍රහයන් පමණක් ප්‍රමාණවත් නොවන අතර, මේ සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගේ ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය වන්නේය. මෙයාකාරයට නොමනා ලෙස හැසිරෙන දේශපාලනඥයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට, සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් ද ඉදිරිපත් වීම අවශ්‍ය වන්නේය. මේ ආකාරයට පාර්ලිමේන්තුවේ විනය පිරිහීමට තවදුරටත් ඉඩදුනහොත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මුළු රටේ ම අනාගතයට අහිතකර ලෙස බලපානු ඇත්තේය. එබඳු පසුබිමක් තුළ, පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත්, පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් ජනතා විශ්වාසය බිඳවැටීමට ඉඩ ඇත්තේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.