පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය. රටපුරා සැමන්, පරිප්පු පෝළිම්.

නිවෙස්වල සිට නිරෝධායනයට ලක්ව සිටින ඉතාලියෙන් පැමිණි පිරිස වැඩි වශයෙන් ජීවත්වන පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කොච්චිකඩේ ප්‍රදේශයට අද (18) සවස 4.30 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල පූර්ව සහ විධිමත් අවසරයකින් තොරව සංචරණය තහනම් වෙනවා. එසේවුවත් අත්‍යවශ්‍ය සේවා සහ වෙනත් සැපයුම් අවහිරයකින් තොරව පවත්වා ගෙනයාමට කටයුතු කරන බවයි බලධාරීන් පවසන්නේ.

මේවනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින, නිවෙස්වලම නිරෝධායනයට ලක්කර ඇති සංඛ්‍යාව හා රෝගීන් වාර්තා වෙන්නේ නම් ඒ කොපමණ සංඛ්‍යාවක්දැයි යන්න සාමාන්‍ය ජනතාව නොදන්නා බව එහි සිටින අප වාර්තාකරු ප්‍රසාද් පූර්ණමාල් පවසනවා. ඔහුට අනුව මේවනවිට පුත්තලම හා ආසන්න සියලු නගර ඉතාමත් ජනාකීර්ණ හා කලබලකාරී ස්වභාවයක් උසුලන අතර ඊට හේතුව ඇඳිරි නීතිය ආරම්භවීමට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට ඔවුන් තුළ ඇති උනන්දුවයි.

බලංගොඩ සතොස ඉදිරිපිට අද දහවල් පැවති තත්ත්වය

පුත්තලමේ තරම් කලබලකාරී වාතාවරණයක් නැතත් දිවයිනේ සෙසු ප්‍රදේශවලද සතොස අළෙවිසැල් ඉදිරියේ ජනතාව රැස්ව සිටින අන්දම දකින්නට ලැබුණා. ඒ ඊයේ (17) දින ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැමන් සහ පරිප්පු මිළ අඩු කිරීම නිසා. සතොස හැරුණු කල සෙසු වෙළඳසැල් සැමන් සහ පරිප්පු මිළ අඩු කර නැති බව අප වාර්තාකරුවන් පවසනවා. කෙසේවෙතත් ජනතාව පවසන්නේ ඉන්ධන මිළ අඩු කිරීමට වඩා මෙැවනි අවස්ථාවක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක හෝ මිළ මෙසේ අඩුකිරීම තමන්ට සහනයක් බවයි. නමුත් සතොස වෙළඳසැල් ආශ්‍රිතව මෙලෙස ජනයා පොදි ගැසී සිටීම සෞඛ්‍ය තර්ජන මතුකළ හැකි තත්ත්වයක් බවයි වෛද්‍යවරුන්ගේ අදහස. ඇඳිරි නීතිය පනවා නැතත් මහනුවර දිස්වන්නේ ඉතාම පාලුවට ගිය ස්වභාවයක් බවයි අප වාර්තාකරු ගයාන් යද්දෙහිගේ පවසන්නේ. මහනුවර ජනයා කල්තියා අවශ්‍ය දේවල් මිළට ගෙන නිවෙස්වලට වී සිටින බව ඔහු පෙන්වා දෙනවා. කෙසේවෙතත් මහනුවර දිවයින මධ්‍යයේ බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලද සැමන් සහ පරිප්පු මිළදී ගැනීමේ සතොස පෝළිම් දිගු බවයි වාර්තාවෙන්නෙ.

ඒ අතර කොරෝනා වැළඳුණු මැණික් ව්‍යාපාරිකයා ඇසුරු කිරීම නිසා ආසාදනයට ලක්වූ රත්නපුර පුද්ගලයා අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බව වාර්තා වෙනවා. එමනිසා ඔහු පැමිණි අවස්ථාවේ එහි රැඳී සිටි පිරිස නිරෝධායනයට සහය දැක්විය යුතු බව බලධාරීන් පවසනවා. එසේම නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම නොසළකා සිරිපා සමයේ ආගමික කටයුතු දිගටම පවත්වා ගෙන යන ශ්‍රී පාදස්ථානාධිපති හිමිගේ ක්‍රියාකලාපයද බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ විවේචනය කර තිබුණා.

“ඉක්මනින් නිවන් යාම පිණිස” යන කැප්ෂනය සමඟ ෆේස්බුක්හී පළ වු පෝස්ටුවක්.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *