පිළිස්සී මිය ගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක්

කසළ ගිනි තැබීමට ගොස් ගිනි ගොඩට ඇද වැටී බරපතල පිළිස්සුම් තුවාල සහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වූ පුද්ගලයෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව තහවුරුව ඇත.

රාමසාමි ගනේෂන් නැමැති මියගිය පුද්ගලයා මඩොල්කැලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (28) පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබේ.

බරපතල පිළිස්සුම් තුවාල සමඟ සිටි ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සමීර ගුණසේකර මහතා විසින් සිදුකරනු ලැබ තිබෙන අතර බරපතල පිළිස්සුම් තුවාල සහ කොවිඩ් -19 වෛරසය ශරීරගත වීම මරණයට හේතුව බව ඒ මහතා වෛද්‍ය වාර්තාව මගින් දක්වා තිබේ.

අධිකරණ වෛද්‍ය වර්තාව සහ සාක්කි සැලකිල්ලට ගත් පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා මෙය ගිනි ගොඩට ඇද වැටීමෙන් ඇතිවූ බරපතල තුවාල සහ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් වූ හදිසි මරණයක් බවට තීන්දු කළේය.

මෙම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බව ජයවර්ධන මහතා කීය.

මියගිය පුද්ගලයාගේ ළඟම ආශ්‍රිතයින් හා මරණ පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධවූ පන්විල පොලීසියේ නිලධාරියා ස්වයං නිරෝධායනයට යොමුකළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.