පාසල් සිසුන්ට පෝෂණ මල්ලක්; ලෝක ආහාර වැඩසටහනෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ආධාර

අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් මිලියන 89ක මූල්‍ය ආධාර ලබා දීමට ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරිය ඇතුළු නියෝජිත පිරිසක් අධ්‍යාපන ඇමතිවරයා සමග පැවැති හමුවකදී එකගතාවයකට පැමිණ තිබේ.

රජය විසින් යෝජිත, පාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එහිදී එකඟත්වය පළ කර තිබේ.

එමෙන්ම, covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100 ක් හඳුනා ගනිමින් එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3 ක මූල්‍යාධාර ලබාදීමට ද මේ යටතේ එකඟතාවය පළකර ඇත.

මීට අමතරව, දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව රජය විසින් යෝජිත වැඩපිළිවෙළ අනුව, සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙළ කර ගැනීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර, ඒ සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ – WFP (World Food Programme) ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Brenda Barton මහත්මිය ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද(13) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී මෙම එකඟතාවන්ට එළඹිණි. අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද හා මහතා සහ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *