පාර්ලිමේන්තුව නැත්නම් කැලෑ නීතිය රජවෙයි. වගකීම මැතිවරණ කොමිසමට – කෙහෙළිය රඹුක්වැල්ල කියයි

 පාර්ලිමේන්තුව නැත්නම් කැලෑ නීතිය රජවෙයි. වගකීම මැතිවරණ කොමිසමට – කෙහෙළිය රඹුක්වැල්ල කියයි

නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණය සම්බන්ධ සියලු බලතල මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙන බවත් ජනපති නියම කළ දිනයේදී මැතිවරණය පැවැත්විය නොහැකි නම් මැතිවරණ නීතියට අනුව කොමිසම කළ යුත්තේ නාම යෝජනා අවලංගු වීමට පෙර මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම බවත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිවරයාට ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය සඳහා දිනයක් නියම කළ බවත් කොවීඩ්-19 ගැටලුවත් සමඟ එම දිනයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නිසා අද කිසියම් අර්බුධයක් මතුවෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර පැවති සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (19)රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නමැති ආයතනයේ අවශ්‍යතාව ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන බවත් යම් හේතුවක් නිසා මැතිවරණය කල්දැමුවත් ලැබෙන පළමු නිමේෂයේදීම එය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියක් බවත් හෙතෙම පැවසුවේය.

විපක්ෂනායක ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවේ පවසන අවස්ථාවාදී කතා දෙස බලන විට පාර්ලිමේන්තුව නැවත කැඳවා නීති සම්පාදනය කිරීමට ගියහොත් ඔවුන් එහිදී රටේ පවතින බැරෑරුම් තත්ත්වයට අනුව කටයුතු කරයිද නැතහොත් පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙයිද යන සැකය පවතින බවද හිටපු මන්ත්‍රීවරයා කීය.

විපක්ෂයේ දේශපාලන අරමුණු තුළ රට යම් ආකාරයක අස්ථාවරත්වයකට පත්වීමේ අවධානමක් මේ සමඟ මතුවිය හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

ව්‍යවස්ථාවේ වගන්ති ගෙන වාද විවාද කරමින් නොසිට ව්‍යවස්ථාවේ මූලික හරයන් සමඟ කටයුතු කිරීම මේ මොහොතේ වැදගත්ම දේ බවත් මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන බලතල වලට ගරු කරමින් සෑම විටම කටයුතු කරන බවත් කී ඒ මහතා මේවන විට අප රටක් ලෙස කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගනිමින්  ධනාත්මක පැත්තකට ගමන් කරමින් සිටින බවද අවධාරණය කළේය.

රටක මූලික නීතිය යනු ව්‍යවස්ථාව බවත් එය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුළුණු මත රඳා පවතින බවත් ඒ මහතා කීය.

මෙම ත්‍රිත්වයෙන් එකක් හෝ පැත්තකට දමා කටයුතු කිරීම ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැතැයි පවසන පිරිස් මෙය තේරුම් ගත යුතුව තිබෙන බවත් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.

ව්‍යවස්ථාවට ගරු නොකර එය කුණු කූඩයට දමා කටයුතු කරන්නට ගියහොත් මතුවට බරපතල ප්‍රශ්න ඇතිවිය හැකි බවත් අපි කළ යුත්තේ ව්‍යවස්ථාව තුළ හිඳිමින් එහි ප්‍රතිපාදන වලට ගරුකරමින් පවතින තත්ත්වය විශ්ලේෂණය කරගැනීම බවත් හෙතෙම පැවසුවේය.

සම්පත් අඩු දියුණු වෙමින් පවතින රටක් වුවත් අප මෙම කෙරෝනා ව්‍යවසනයට සාර්ථකව මුහුණ දී දියුණු රටවලට වඩා හොඳින් එය කළමනාකරණය කරගත් බවත් ඒ සඳහා ජනපති,අගමැති,සෞඛ්‍ය අංශ,ආරක්ෂ ප්‍රධාන කොට රටේ සියලු දෙනා කැපවීමක් කළ බවත්  කී රඹුක්වැල්ල මහතා එසේ වූ පමණින් රටේ මූලික නීතියට පයින් ගසා කටයුතු කරන්නට ගියහොත් සිදු වන්නේ කැලෑ නීතිය රජවීම බවද අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව වසරක් වැනි කාලයකදී විසුරුවා හැරීමේ බලයක් ජනපතිවරයාට නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන්ද සිටින බවත් ගොනයි මීමයි ලෙස පසුගිය යහ පාලන ආණ්ඩුව ක්‍රියාත්මක වන අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වූයේ 19 වන සංශෝධනයෙන් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර 4 1/2 ක් දක්වා දීර්ඝ කිරීම නිසා බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *