පාඩු ලැබිය නොහැකි බව පවසමින් හැටන් පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පෞද්ගලික බස් රථ වල මගින් ප්‍රවාහනය කිරිමට ලබා දි ඇති නිර්ණායක හමුවේ හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය හෙට (28) දින සිට බස් රථ ධාවන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව එහි සභාපති එස්.කේ.ජයසුරිය මහතා පැවසීය. හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේදි බස් රථ හිමියන් සහ මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ස්ථානභාර නිලධාරින් සහ වේලා සටහන්කරුවන් අතර (27) දින පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
හැටන් පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බස් රථ සංගමයේ නිලධාරින්ව කැඳවා පෞද්ගලික බස් රථ ධාවනය කල යුතු නිර්ණායක සහ බස් රථයක මගින් 21 දෙනෙකු පමණක් ප්‍රවාහනය කරන ලෙස දැනුවත් කළ බවත්, එම නිර්නායකවලට පටහැණිව ක්‍රියා කළහොත් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ බවත් ඒ සමග තමන් මෙම තිරණය ගත් බවත් හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
එම නිර්ණායකවලට අනුකුලව තම සංගමයේ කිසියම් සාමාජිකයෙකුට බස් රථ ධාවනය කිරිමට හැකියාවක් තිබේනම් බස් රථ ධාවනය කරවන ලෙසද එස්.කේ.ජයසුරිය මහතා ඉල්ලා සිටියි. එම සංගමයේ උප සභාපති එම්.උදයකුමාර් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පසුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්ණායක වලට පටහැනිව බස් රථ වල මගීන්ව නංවාගෙන යාමේදි හැටන් පොලිසියේ නිලධාරින් බස් රථ නතර කර පරික්ෂා කර දැඩිලෙස අවවාද කල බවයි.
මගින් 21 දෙනෙකු නංවාගෙන බස් රථයක් ධාවනය කිරිමේදි විශාල පාඩුවක් සිදු වන බවත්, රියදුරු සහ කොන්දොස්තරවරයාගේ වැටුප්, බස් රථයේ ඉන්ධන වියදම පවා පියවා ගැනීමට නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි. බස් රථ වල මගින් 21 දෙනෙකු නංවාගෙන ධාවනය කිරිමට නම් දැනට මගින්ගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට අවසර දෙන්නේ නම් හෝ ඩිසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ හිමියන්ට ලබාදෙන්නේ නම් හැකි බව හැටන් බස් සංගමය සඳහන් කරයි.
රජය විසින් පෞද්ගලික බස් රථ වල සහ ලංගම බස් රථවල මගීන් නංවාගෙන යාමට අදාලව ඉදිරිපත් කර ඇති නිර්ණායක වැදගත් බවත්, ඒවා යටතේ පෞද්ගලික බස් රථ ධාවනය කළහොත් කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටිමේ අවදානමකට ලක් විය හැකි බවත් ඔවුහු අවධාරණය කරති.