ප්‍රාදේශීය සභාපතිට නොකියා විවෘත කළාම වතුර කපලා. නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය වසා දමයි

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය විවෘත කර දිනකට පසු එහි ජල සම්බන්ධතාව නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් විසන්ධි කිරිම නිසා රෝගී ප්‍රතිකාර කටයුුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 37 ක ණය ආධාර යටතේ ඉදි කරන ලද මෙම වෛද්‍ය ඒකකය පසුගිය (18) දින ජනතා අයිතියට පත් කෙරිණි.

මෙය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ආරාධනා නොකිරීම ජල සම්බන්ධතාව විසන්ධි කිරීමට හේතුවූ බව ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ පවසති.

රෝහල් පරිශ්‍රයේ කැළි කසළ බැහැර නොකරන ලෙස ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ට සභාපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව ඔවුහූ කීහ.

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ අමාත්‍ය සී.බී රත්නායක  සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහත්වරුන්ට පමණක් අදාළ විවෘත කිරීමේ උත්සවයට රෝහල් සංවර්ධන කමිටුව විසින් ආරාධනා කරනු ලැබ තිබේ.

එම අවස්ථාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට උත්සවය සඳහා ආරාධනා නොකිරිම නිසා රෝහල විවෘත නොකර රෝහල් පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇත.

අනතුරුව අමාත්‍ය සි.බි.රත්නායක මහතා වෙනුවෙන් පැමිණි ඔහුගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බි.රත්නායක මහතා විසින් රෝහල ජනතා අයිතියට පත්කර තිබේ.

දන්ත සෞඛ්‍ය ඒකකයක්,භාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක්,වෛද්‍ය රසායනාගාරයක්,හදිසි ප්‍රතිකාර ඒකකයක්,වෛද්‍ය නිල නිවාසක් සමඟ විවේකාගාර දෙකකින් සහ තවත් පහසුකම් ගණනාවකින් නානුඔය ප්‍රාථමික වෛද්‍ය  ඒකකය සමන්විතය.

නානුඔය ප්‍රදේශයේ වතු පහක සහ ගම්මාන තුනක පදිංචි 19000 ක  පමණ පිරිසකට ප්‍රතිකාර ලබා ගැනිමට ඇති ආසන්නතම රෝහල වන්නේ නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයයි.

රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින්ට නිරෝධායන උපදෙස් වලට අනුකූලව දෑත් සේදිමට සහ රෝහලේ දෛනික කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් නොමැති නිසා යලිත් ජල සම්බන්ධතාවය ලබාදෙන තෙක් රෝහලේ ප්‍රතිකාර කිරිමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි සේවයේ නියුතු වෛද්‍යවරු පැවසූහ.

රෝහල විවෘත කිරිමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරිම නිසා එම රෝහල වෙත ලබාදි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවට කරන ප්‍රකාශය පිළිනොගන්නා බවත් රෝහල ප්‍රතිසංස්කරණය කිරිමට ප්‍රථම තම ප්‍රාදේශිය සභාව වෙත ජල ගාස්තු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් 54708.00 ක මුදලක් සභාව වෙත ගෙවීමට ඇති නිසා ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකදී  නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතා කීය.

 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් මත යළිත් කඩිනමින්  රෝහලට ජල සම්බන්ධතාවය ලබා දිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *