ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක්
ස්ථීර වැටුපක් නොලබන එමෙන්ම විශ්‍රාම වැටුප්, පාරිතෝෂික හෝ සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය නොදක්වන සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ගත යුතු පියවර අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා පවසයි. මේ වන විට ඊට අදාල මූලික සාකච්ඡා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සමග සිදු කළ බවද ඒ ඇසුරින් සකස් කෙරෙන යෝජනාවලියක් ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ රජයට ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. එසේම සමන් හඳරාගම මහතා පෙන්වා දෙන්නේ, පුවත්පත් මණ්ඩලය හා මූලික සාකච්ඡා සිදු කළද මෙම වැඩපිළිවෙල පුවත්පත් කලාවේදීන්ට පමණක් සීමා නොවන අතර විද්‍යූත් මාධ්‍ය ඇතුළු සෙසු මාධ්‍යවල සේවය කරන වෘත්තීය මාධ්‍යවේදීන් සියලු දෙනාටද සහන සැළසීම අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අහිමි පිරිස් වෙත දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දීමේ අරමුණෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. එහි අරමුණ කිසියම් තැනැත්තෙකු මාසිකව මුදලක් සමාජ ආරක්ෂණ අරමුදලේ තැම්පත් කොට කල්පිරුණු පසුව ප්‍රතිලාභ ලෙස මාස් පතා විශ්‍රාම වැටුප් ගෙවීමයි. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ටද මාසිකව කිසියම් දායකත්වයක් ලබා දී කල් පිරුණු පසුව විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සැළැස්වීම මෙම යෝජනාවේ අරමුණයි. එහෙත් ප්‍රාදේශීය හා නිදහස් ජනමාධ්‍යවේදීන් ස්ථාවර ආදායමක් නොලබන නිසා ඔවුන්ට ඉතා සුලු මුදලක් ගෙවන්නටත් වාරික මුදලින් කිසියම් වැඩි ප්‍රතිශතයක් රජය මගින් ගෙවන්නටත් හැකි වාතාවරණයක් සකස් කිරීමට අපේක්ෂිතයි. වාර්ෂිකව රජය අයවැය මගින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් විවිධ සහන හඳුන්වා දෙන බැවින් මෙවැන්නකට අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාවක් ඇති බව සිය විශ්වාසය යැයි පවසන සමන් හඳරාගම මහතා පෙන්වා දෙන්නේ දිවයින පුරා විසිරී සිටින වෙනත් වෘත්තීන්හී නිරත නොවන හා ලියාපදිංචි ජනමාධ්‍යවේදීන් පමණක් ඉලක්ක කරගන්නා බැවින් මෙය එතරම් අසීරු කාර්යයක් නොවන බවයි.