ප්‍රශ්නවලින් ඉගෙන ගෙන ජීවිතය දකිමු. ආර්ජෙන්ටිනා ජන ගායක ෆකුන්ඩෝ කබ්රාල්ගේ කතාව

 ප්‍රශ්නවලින් ඉගෙන ගෙන ජීවිතය දකිමු.  ආර්ජෙන්ටිනා ජන ගායක ෆකුන්ඩෝ කබ්රාල්ගේ කතාව

“මෙම විස්මිත විශ්වයේ කොටසක් වීම ගැන මා මවිතයට පත් වන අතර මා අවදියෙන් තබන කුසගින්න ගැන මම ආඩම්බර වෙමි. මන්ද මිනිසාගේ කුස පිරී ඇති විට ඔහු නින්දට වැටේ. තොටිල්ලේ සිට මිනීවළ දක්වා ම ජීවිතය පාසලකි. එබැවින් අප ප්‍රශ්න ලෙස හඳුන්වන දේ පාඩම් ලෙස ගනී නම්, අපි ජීවිතය වෙනස් ලෙස දකිමු.”
ආර්ජෙන්ටිනා ජන ගායක ෆකුන්ඩෝ කබ්රාල් (1937 මැයි 22, – 2011 ජූලි 09)

ෆකුන්ඩෝ කබ්රාල් උපත ලැබුවේ ආර්ජන්ටිනාවේ ලා ප්ලාටා නගරයේ දී. ඔහුට වයස අවුරුදු නවය වන තුරුත් කතා කිරීමට නොහැකි වුණා. ෆකුන්ඩෝ හට පහසු ළමා වියක් තිබුණේම නෑ වයස අවුරුදු 14 වන තෙක් ඔහු අධ්‍යාපනයක් ලැබුවේ නෑ. වයස අවුරුදු නවයේදී ඔහු තම පියා සහ සහෝදර සහෝදරියන් හත්දෙනාට උපකාර කිරීම සඳහා රැකියාවක් සොයමින් කිලෝමීටර් 400 ක් පයින් ගමන් කලා. ඔහු කලින්ම සිය නිවසින් පිටව ගිය අතර ලැබුණ සියලු ආකාරයේ කාර්යයන් සඳහා කැපවී වැඩ කලා. ඔහු නිවසින්  පිටත්ව යන විට ඔහුගේ මව ඔහුට අපූරු කතාවක් පැවසුවා. “මට ඔබට දිය හැකි දෙවැනි හා අවසාන ත්‍යාගය මේක. පළමු ත්‍යාගය මම ඔබට ජීවිතය ලබා දුන් එක. දෙවැන්න ඒ ජීවිතය සදහා  ජීවත්වීමේ නිදහස ලබා දෙන එක.

මාර් ඩෙල් ප්ලාටා වෙත ගිය ඔහුට හෝටලයක රැකියාවක් ලැබෙනවා. දිනක් එහි හිමිකරු ඔහුගේ ගිටාරය ෆකුන්ඩා ට ලබා දී ඔහුට ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඔහුගේ සංගීත ජීවිතය ඇරඹෙන්නේ එහෙම. ආරම්භයේ සිටම ඉතා නිහතමානී වූ ඔහු සිය ගීත, පද රචනා සහ පොත් 66ක්  හරහා ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව ආස්වාදයට පත් කලා. මිලියන ගණනක් රසිකයින් ගේ රසවින්දනය වෙනුවෙන් ඔහු සිය සංගීතය භාවිතා කලා.  ඔහු රටවල් 165 කට අධික සංඛ්‍යාවක විවිධ භාෂා අටකින් ඔහු සිය ප්‍රසංග පවත්වා තිබෙනවා.  ඔහු මුලින් භාවිතා කල කලාත්මක නම වුණේ, එල් ඉන්දියෝ ගෑස්පරිනෝ  යන නම. අස්ථි පිළිකාවක් වැළදී එයින් ද දිවි ගලවා ගත් අයෙකු වූ ෆකුන්ඩෝ වයස අවුරුදු විසි ගණන්වල දී රෝග විනිශ්චය කළ ඔහුගේ වෛද්‍යවරයා පැවසුවේ ඔහුට ජීවත් වීමට ඇත්තේ මාස කිහිපයක් පමණක් බව. නමුත් ඒ තීරණයට අභියෝගයක් වෙමින් ඔහු වැඩි කලක් ජීවත් වුණා. ඔහු වඩාත් ප්‍රිය කලේ සංචාරයට. මුදල් ගැන තැකීමක් නොකල ඔහු තමන් ජීවතුන් අතර සිටීම ගැන නිතරම සතුටු වුණ කෙනෙක්.

1978 දී කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ අසල සිදුවූ ගුවන් අනතුරකින් ඔහුගේ බිරිඳ සහ එක් හැවිරිදි දියණිය මිය ගියා. ඔහු අන්ධභාවයට පත්වුණා.
ජේසු, ලාඕසි, ෂුවාං ෂෝ, රාජ්නීෂ්, ක්‍රිෂ්ණමූර්ති, ගෞතම බුදුන්, ෂොපෙන්හවර්, ජෝන් බැප්ටිස්ට්, ෆ්‍රැන්සිස් ඔෆ් අසීසි, ගාන්ධි සහ තෙරේසා ඇතුළු විවිධ චරිත ඔහුගේ අධ්‍යාත්මික අදහස්වලට බලපෑම් කළ බව ෆුකුන්ඩෝ නිතර ප්‍රකාශ කළා. ඔහු ක්වොන්ටම් විද්‍යාව සහ ඊගෝව යටත් කරගැනීම ගැන විවිධ දේශනා ඉදිරිපත් කලා. ජෝර්ජ් ලුයිස් බෝර්ජස්ගේ සහ වෝල්ට් විට්මන්ගේ ලේඛන කෙරෙහි ද ඔහුට තිබුණේ දැඩි ප්‍රසාදයක්.

වසර ගණනාවක් තිස්සේ ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රමයක් ලෙස සාමය වෙනුවෙන් පෙනී සිටි ෆුකුන්ඩෝ කබ්රාල් කිසි විටෙකත් නිශ්චිත දේශපාලන ව්‍යාපාරයකට අනුගත නොවූ බවයි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ. ඔහු තමාව “සැර සාමවාදීයෙක්” ලෙසත් “පළමු පන්තියේ නිවාස නොමැති පුද්ගලයෙක්”  හදුන්වා දුන්නා. පසුකාලීනව ඔහු දාර්ශනික අරාජකවාදයේ අදහස් සමඟ අර්ධ වශයෙන් රැදී සිටි බවද පැවසෙනවා.

2011 ජුලි 9 වන දින ග්වාතමාලාවේ සංචාරයකදී ලා අරෝරා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යමින් සිටියදී ෆකුන්ඩෝ කබ්රාල් වෙඩි තබා ඝාතනය කලා. ඝාතනයට නිසි හේතුවක් පැහැදිලි නැතත් ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් විසින් මෙය සිදුකර තිබුණා.  ඔහු පෙර දින සවස ක්වෙට්සාල්ටෙනැන්ගෝ හි ප්‍රසංගයක් පැවැත්වීමෙන් පසු ග්වාතමාලා නගරයට බටහිර දෙසින් පිහිටි හෝටලයකින් පිටත්ව ගොස් ඇති අතර තුවක්කුකරුවන් ඔහුගේ වාහනයට වෙඩි ප්‍රහාර අටක් එල්ල කරමින් ගුවන් තොටුපළට යමින් සිටියදී ම ඔහුව ඝාතනය කලා. මෝටර් රථය තුලම ඔහු මිය ගොස් තිබුණා. ෆකුන්ඩෝ කබ්රාල් ඝාතනය කරන අවස්ථාවේ ඔහු ගේ දෙවන බිරිද වන වෙනිසියුලානු මනෝ විද්‍යාඥ සිල්වියා පූසා සමඟ විවාහ වී මාස හතක් ගතවී තිබුණා.

ඔහුගේ දේහය 2011 ජුලි 12 වන දින මෙක්සිකානු ගුවන් හමුදා ජෙට් යානයකින් ග්වොතමාලාවේ සිට ආර්ජන්ටිනාවට රැගෙන ආ අතර ඔහුගේ වැන්දඹු බිරිද වන සිල්වියා පූසා සහ ඥාති පුත්‍රයා විදේශ ඇමති හෙක්ටර් ටයිමර්මන් හා ග්වාතමාලන් හා මෙක්සිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් කුඩා කණ්ඩායමක් සමඟ බුවනෝස් අයර්ස් හි ටාමාක් හිදී ඔහුගේ දේහය ලබා ගත්හ. එක් නිලධාරියෙක් ගුවන් යානයෙන් ගිටාරයක් සහ කුඩා බෑගයක් ගෙන ආවා. ෆකුන්ඩෝ කබ්රාල් නිතර පවසා ඇත්තේ ඔහුගේ නිරන්තර සංගීත චාරිකා සඳහා ඔහුට අවශ්‍ය වූයේ එය පමණක් බවයි.

ෆකුන්ඩෝ කබ්රාල් වඩාත් ප්‍රචලිත වූයේ  “I’m not from here nor there” ගීතය නිසා. ආර්ජන්ටිනාවේ ජනප්‍රිය ගායකයෙකු වුන ඔහු මුලු ලතින් ඇමෙරිකාව පුරා ද සුවිශේෂ ජනප්‍රියත්වක් ලබා ගත් කෙනෙක්. 1996 දී යුනෙස්කෝව ඔහු සාම දූතයෙක් ලෙසද නම් කරුනු ලැබුවා.

ෆකුන්ඩෝ කබ්රාල් ගේ අපූරු කියමනක් තිබේනවා.
“සෑම උදෑසනක්ම ශුභ ආරංචියකි. ඉපදුණු සෑම දරුවෙකුම ශුභ ආරංචියකි. සෑම සාධාරණ මිනිසෙක්ම ශුභ ආරංචියකි. සෑම ගායකයෙක්ම ශුභ ආරංචියකි. ඒ අන් කිසිවක් නිසා නොව සෑම ගායකයෙක්ම එක් සොල්දාදුවෙකු අඩුකරන බැවිනි”

කපිල එම්. ගමගේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *