ප්‍රතිශක්තියට පහර දෙන්නත් නව කොරෝනාවට පුලුවන්
සංරචක කිහිපයකින් සමන්විත අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආසාදනයකදී ශරීරය රැක ගන්නේ ඒවා ඒකාබද්ධව වැඩකරන නිසා. ඉතාම වැදගත් ප්‍රතිශක්තිකරණ සෛල විශේෂයක් වන T Lymphocytes හෙවත් T වසා සෛල අනුවර්තී ප්‍රතිශක්තියේ හරය ලෙස ක්‍රියා කරන සුදු රුධිරාණු වර්ගයක් වන අතර, විශේෂිත රෝග කාරකවලට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වෙනස් කිරීමට සමත් වෙයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් මේ තරම් වැදගත් T වසා සෛලවලට නව කොරෝනා වෛරසය පහර දෙන බව ඇමරිකාවේ හා චීනයේ නවතම පර්යේෂණවලින් හෙළිදරව් වී ඇතැයි News-medical.net වෙබ් අඩවියට ලිපියක් ලියන Angela Betsaida B. Laguipo පෙන්වා දෙනවා. දුක්ඛදායක මේ සොයාගැනීම, මතු කරන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වනසා දැමීමෙන් ඊට එරෙහිව සටන් කිරීමට රෝගියා සතු ශක්තිය හීන කිරීමට සමත් කොරෝනා වෛරසය සතු නාසන ශක්තියයි.
නව කොරෝනා වෛරසය
කොරෝනා වෛරස මිනිසුන්ට දීර්ඝ කාලයක ඉඳලා වධ දෙනවා. ඒත් එහි හුඟක් වෛරස ආකාර මිනිසුන් තුළ ඇති කරන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාව වාගේ මෘදු රෝග ලක්ෂණ විතරයි. කොහොම වුණත් මේ වෙනකොට කොරෝනා වෛරස ආකාර තුනක් මාරාන්තික ආසාදන ඇති කරනවා. 2002 චීනයෙන් වාර්තා වුණු සාර්ස්, 2012 මැදපෙරදිග වාර්තා වුණු මර්ස් සහ 2019 චීනයේ හුබෙයි පළාතේ වූහාන්වලින් මුලින්ම වාර්තා වෙලා දැන් ලොව පුරා වසංගතයක් වෙලා තියෙන කොවිඩ් 19 තමයි ඒවා.
කොවිඩ් 19 රෝගය සඳහා හේතුවන නව කොරෝනා සාර්ස් වෛරසයේ බලපෑම මීට පෙර 2002 සහ 2012 වාර්තා වුණ කොරෝනා වර්ගයේ වෛරසවල බලපෑමට වඩා සාපේක්ෂ දරුණු බවක් පෙන්වනවා. මාස කිහිපයක් ඇතුළත ලෝකයේ රටවල් බොහොමයක් වසා දැමීමට සැළැස්වීමට තරම් බලවත් වූ එය මිලියන ගණනක් ජනයා ආසාදිතයන් බවට පත් කරමින් ලෝක ආර්ථිකය දෙදරවා සුව සේවා පද්ධතිද විඩාවට පත් කළා.
මේ වනවිට ලොව පුරා විද්‍යාඥයින් සහ පර්යේෂකයන් කොව්ඩ් 19 රෝගය නිවාරණය කිරීමට සමත් පිළියමක් සොයා ගැනීමට වෛරසය පිළිබඳ අධ්‍යනය කරනවා. වෛරසය මරා දැමීමට ක්‍රියා කළ යුතු බලවත් ප්‍රතිශක්තිකරණ සෛල මරාදැමීමට තරම් පුලවන්කමක් නවකොරෝනා වෛරසයට තිබීම ගැන හෙළිදරව්වීම නිසා ඔවුන් දැන් පුදුමයට පත්ව තිබෙනවා.

ප්‍රාණ ඇපයට ගැනීම
චීනයේ ෂැංහයි හී ෆියුඩාන් සරසවියේ පර්යේෂකයෝ සහ නිව්යෝර්ක් රුධිර මධ්‍යස්ථානය T වසා සෛල සමග වෛරසයේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කර තිබෙනවා. මේ T සෛල වැඩ කරන්නේ සිරුරට ඇතුළු වන ආගන්තුක ආක්‍රමණිකයො හඳුනාගෙන ඉවත් කිරීමට.

Cellular & Molecular Immunology, ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ සොයාගැනීම් සඳහා කළ පර්යේෂණයට අදාලව වෛරසය නිසා ආසාදනය වූ සෛලයක පටලය හරහා විෂ රසායනිකයක් එන්නත් කළ පර්යේෂකයෝ දුටුවේ, ඉන් වෛරසය විනාශ වූ අතර සෛලයද කැබලිවලට කැඩී විනාශ වන අන්දමයි.
පුදුමයට කරුණක් ලෙස පර්යේෂක කණ්ඩායම සොයාගත්තේ, T සෛල සහ කොරෝනා වෛරස එකිනෙක සහ සම්බන්ධව පවතින විට සෛලය වෛරසයට ගොදුරු වන අතර
වෛරසවල ඇති නෙරුම් ආකාර ව්‍යුහ මගින් සෛල පටලය විනිවිද වෛරසය ඒ හා යා කරන බවයි. ඉන්පසු වෛරසයේ ජාන සෛලයට ඇතුළු ව එය ප්‍රාණ ඇපයට ගනිමින් ශරීරය ආරක්ෂා කිරීමට එහි ඇති ශක්තිය අක්‍රිය කොට සෛලය විනාශ කරයි.
මේ නිරීක්ෂණයෙන් පසුව සාර්ස් රෝගයට හේතුවන කොරෝනා වෛරසය සමග හා වෙනත් කොරෝනා ප්‍රවර්ග සමගද එම අත්හදා බැලීම සිදු කිරීමට පර්යේෂකයෝ උත්සාහ කළ අතර එම ව්යාධිකාරකවලින් T සෛල ආසාදනය නොවූ බව පෙනුණි. පර්යේෂකයෝ සැක කරන්නේ 2002 සාර්ස් රෝගයට බලපෑ කොරෝනා වෛරස කාණ්ඩය සෛල පටලය සිදුරු කිරීමේ හැකියාවෙන් ඌන වූ බවයි. සෛල ආසාදනය කිරීමට වෛරසයකට හැකි වන්නේ විශේෂ ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන වන angiotensin-converting enzyme 2 (ACE2) වැනි ඒවා සෛල සතුව ඇත්නම් පමණි. T සෛල සතුව ඇත්තේ මෙවැනි ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන කිහිපයක් පමණි.
කොරෝනා වෛරසය මගින් T සෛල ආසාදනය වන බව සොයා ගැනීම ඉතා වැදගත් වන අතර වෛරසය මේ තරම් සීඝ්රයෙන් ව්‍යාප්ත වන්නේ සහ ලොව පුරා බොහෝ දෙනෙකුට ආසාදනය වී ඇත්තේ ඇයිද යන්න ඉන් පෙන්නුම් කරයි. එසේම අවුරුදු 65ට වැඩි වයස්ගත ජනයා, ප්‍රතිශක්ති ඌනතා සහිත පිරිස සහ පෙනහළු ආසාදන, හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලු පවතින පිරිස වැනි පහසුවෙන් ගොදුරු විය හැකි උදවිය මරණයට පත්වීමේ අවදානම ඉහළ ඇයිද යන්න එමගින් පැහැදිලි වේ.
පර්යේෂණවලින් පෙනෙන්නට තිබෙන්නේ, කොවිඩ් 19 රෝගයට ගොදුරුව මියගිය අයගේ සිරුරෙහි සාර්ස් සහ HIV යන රෝග දෙකෙන්ම සිදු වූවාක් වැනි හානි දක්නට ලැබෙන බවයි. එසේම පර්යේෂකයෝ සොයා ගත්තේ, HIV මෙන් T සෛලය පමණක් වනසා ගැලවීගන්නට නව කොරෝනා වෛරසය අසමත් බැවින් වෛරසයද T සෛලයද යන දෙකම විනාශ වන බවයි.
T සෛල ක්‍රියාත්මක වන අන්දම බලන්න
පරිවර්ථනය – ලසන්ත ද සිල්වා