ප්‍රංශයේ කෘමිනාශක තහනමක්

 ප්‍රංශයේ  කෘමිනාශක තහනමක්

මී මැසි ගහණය අවදානම් සහගත මට්ටමකට පහත දැමීමට සහ මී මැස්සන්ගේ මරණයට සෘජුවම හේතුවන නිකොටිනීකෘත කෘමිනාශක වර්ග පහක් භාවිතය තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබේ. මිනිසුන් භුක්ති විඳින ශාඛමය ආහාර එනම් පළතුරු හා බීජ ඇතැම් විට කැරට් වැනි අල බෝග වර්ග පවා නිෂ්පාදනය කිරීමට දායක වන්නේ මී මැස්සන් ඇතුළු පරාග පෝෂණය කරන කෘමීහුය. මිහිමත ඇති ශාඛ විශේෂයන්ගෙන් සියයට 85ක් පරාග පෝෂකයන් මත යැපෙන අතර උන් අපේ ආහාර දාමයේ ඉතා වැදගත් කොටස් කරුවන් පිරිසකි.  අප ආහාරයට ගන්නා සෑම ආහාර වර්ග තුනකින්ම එක් වර්ගයක් ලැබෙන්නේ මී මැස්සා ඇතුළු පරාග පෝෂණය කරන්නන්ගේ දායකත්වය නිසා ය. මී මැස්සන් නොමැති ලොවක අපට තෝරා ගැනීමට ඇති ආහාරවලින් තුනෙන් පංගුවක් අහිමි වනු ඇත.

මිහිමත ඇති ශාඛ විශේෂයන්ගෙන් සියයට 85ක් පරාග පෝෂකයන් මත යැපෙන අතර උන් අපේ ආහාර දාමයේ ඉතා වැදගත් කොටස් කරුවන් පිරිසකි.  අප ආහාරයට ගන්නා සෑම ආහාර වර්ග තුනකින්ම එක් වර්ගයක් ලැබෙන්නේ මී මැස්සා ඇතුළු පරාග පෝෂණය කරන්නන්ගේ දායකත්වය නිසා ය. මී මැස්සන් නොමැති ලොවක අපට තෝරා ගැනීමට ඇති ආහාරවලින් තුනෙන් පංගුවක් අහිමි වනු ඇත.

මෙලෙස කෘමීන්ගේ ජනපද බිඳවැටීමේ ව්‍යාධිය  Colony Collapse Disorder (CCD) ලෙස හඳුනාගත හැකි තත්ත්වයට වායු දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම, ඉඩෝරය ආදිය හේතු සාධක වන නමුත් ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කෘමිනාශක භාවිතයයි.

ලොකුම මාරයා නිකොටිනීකෘත විෂ වර්ග

Neonicotinoid යනුවෙන් විශේෂඥයින් විසින් හඳුන්වනු ලබන කෘමිනාශක විෂ රසායනය නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය ලෙස නිකොටීනමය සංඝටක යොදා ගනී. මේවාද නිකොටීන් මෙන්ම ස්නායු උපාගමයේ ඇතැම්  ප්‍රතිග්‍රාහක කෙරෙහි විවිධාකාරයෙන් ක්‍රියා කරයි. මෙවැනි රසායනික පක්ෂීන්, ක්ෂීරපායින් වැනි උසස් මට්ටමේ සතුන් කෙරෙහි ක්‍රියාත්මක වන අන්දමට වඩා කෘමීන් ඇතුළු අපෘෂ්ඨවංශීන්ට එරෙහිව උග්‍ර විෂ ලෙස භාවිතා කළ හැකිය.

නිකොටිනොයිඩ ගණයේ රසායනික කිහිපයකි. ඒවා නම්, Acetamiprid, Clothianidin, Dinotefuran, Imidacloprid, Nitenpyram, Thiocloprid, Thiamethoxam වැනි ඒවාය. නිකොටීන් ආශ්‍රයෙන් සංස්ලේශනය කරන නැතහොත් නිකොටිනොයිඩ ගණයේ මෙම රසායනික, මී මැස්සන් වැනි කෘමීන්ට අඩු විපත් ගෙන දෙන බව සැළකෙන කාලයේදීත් ඒවාට එරෙහි ප්‍රශ්නගත චෝදනා තිබුණි. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ බිඟු පාලක එරික් මුසේන්ට අනුව මල් පරාග මත එකිනෙකට වෙනස් විෂ වර්ග 150කට අධික අවශේෂ සොයා ගෙන තිබේ. 

සමාගම් අසමත්

මී මැසි ජනපද බිඳවැටීමේ ව්‍යාධිය, උන්ගේ මරණ ඇතුළු නියෝනිකොටිනොයිඩ හා සම්බන්ධ මී මැසි ගහණ අවපාතනයට හේතුවන රසායනික නිෂ්පාදන අවම කිරීමට බේයර් (දැන් මොන්සැන්ටො), සින්ජෙන්ටා, BASF, DOW, DuPont වැනි බහුජාතික සමාගම් අසමත්ව තිබේ. ලොව පුරා ගොවීන්ගෙන් ධනය ගලා එන බැවින් සිය කෘමිනාශක ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන් සිතන්නේ නැත.

ජනපද ඇද වැටීමේ ව්‍යාධිය

ජනපද ඇදවැටීමේ ව්‍යාධිය යනු සංකල්පයකි. එහිදී සිදුවන්නේ වැඩකාර මී මැස්සන්ගෙන් (ඇත්තටම උන් ගැහැණු සතුන්) බහුතරය කොලනිය සහ රැජින අත්හැර දමා යාමෙන් පසු ඉතිරිවන සාත්තුකාර මී මැස්සියන් අතළොස්සට ඉතිරි ආහාර, රැජිණ සහ පිළවුන්ද රැක බලා ගන්නට සිදුවීමයි. ජනපදයක සිටිය යුතු වැඩකරන ගහණය සළකන විට එය පහසු කාර්යයක් නොවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු සාධක නිශ්චිතවම හඳුනාගෙන නොමැත. 2006 දී ඒ පිළිබඳ සංකල්ප හෙළිදරව් කෙරුණු මුල්ම අවස්ථාවේ විද්‍යාඥයින් පුදුමයට පත් විය. මේ වනවිට ඒ හා නියෝනිකොටිනයිඩ විශාල සම්බන්ධයක් ඇතැයි සැක කරනු ලැබේ. විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයක විද්‍යාඥයෝ මෙම සැකය තහවුරු කිරීමට හේතුවන සාධක සීඝ්‍රයෙන් සොයා ගනිමින් තිබේ.

ප්‍රංශයේ තහනම

නිකොටිනීකෘත නැත්නම් නිකොටීන් ආශ්‍රයෙන් සංස්ලේශනය කරනු ලබන නියෝනිකොටිනයිඩ වර්ග තුනක් තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගනිද්දී ප්‍රංශය පියවරක් ඉදිරියට තබමින් මේ වනවිට භාවිත වර්ග පහම තහනම් කරනු ලැබීය.  යුරෝපා සංගමයේ තහනම 2018 සිට ක්‍රියාත්මක වූ අතර ඇතැම් සාමාජිකයින්ට 2020 දක්වා සහන කාලයක් දෙනු ලැබුවේ විකල්ප කරා යොමු වීමටය. එයද ඇසිටමිප්‍රිඩ් කාණ්ඩ සුලු වශයෙන් භාවිතා කිරීමට යැයි ප්‍රංශ පරිසර ඇමතිවරයා පවසයි. දැන් වඩා ඉදිරිගාමී වෙමින් ප්‍රංශයේ තහනම ක්‍රියාත්මක වන අතර එය එළිමහන් සහ හරිතාගාර වගා සඳහාද අදාලය. මේ තීන්දුවෙන් බිඟු පාලකයෝ සහ පරිසර ක්‍රියාකාරීහු උද්දාමයට පත්ව සිටිති. නමුත් ධාන්‍ය ගොවියෝ සහ සීනි බීට් වගා කරන්නෝ අසතුටට පත්ව සිටිති. ඒ අතර තහනම නිසා සමාගම් වෙනත් හානිදායක විකල්ප වෙළඳපොළට එවනු ඇතැයි බිය පල කරන බිඟු පාලකයෝද ප්‍රංශයේ වෙති. කෘමිනාශක මෙන්ම බැක්ටීරියා සහ දිලීර නාශකද තහනම් කර මහපොළව හා මිතුරු වෙමින් වගා කිරීමේ සංස්කෘතියකට මිනිසා වහාම යොමු විය යුතු යැයි මේ තීන්දුව අගයන පරිසර ප්‍රේමීන්ගේ මතයයි.

අනුවාදය – ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *